ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂය ජයගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂය ජයගනී

ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂය ජයගනී

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු පක්ෂය සමත් විය. ඒ අනුව, එරට නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස්ය.

 

කම්කරු පක්ෂය මෙසේ ඕස්ට්‍රේලියාවේ බලය තහවුරු කර ගත්තේ වසර 10 කට පසුව පමණ යැයි පැවැසෙයි. 'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඕස්ට්‍රේලියාව ද ආර්ථික අර්බුදවලට මුහුණ දෙයි. ජීවන වියදම ද ඉහළ ගොස් තිබේ. මෙය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රමුඛ රජයේ ජනප්‍රියත්වය අඩුවීමට හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නායකත්වය දෙන්නේ ලිබරල් පක්ෂයටය. ලිබරල් පක්ෂය ඔවුන්ට හිතවත් ස්වාධීන පක්ෂ සමඟ සන්ධානගතවී මධ්‍ය දක්ෂිණාංශික කොන්සවර්ටිව් පක්ෂ රජයක් පිහිටුවා තිබුණේ 2013 වසරේ සිටය.

 

පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහාත් නියෝජිතයන් තෝරා ගැනීමට මහ මැතිවරණය පැවැත්වූයේ ඊයේ (21) ය. මෙය ඕස්ට්‍රේලියාවේ 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. 

 

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ආසන 72 කට වඩා දිනා ගැනීමට සමත් වූ අතර, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමි කර ගැනීමට හැකිවූයේ ආසන 51 ක් පමණි.

 

ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළත් ඔවුන් බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි වන්නේ නම්, ස්වාධීන පක්ෂ සමඟ එක් වී හවුල් රජයක් පිහිටුවීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂයේ ජය තහවුරු වෙද්දී, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පරාජය බාර ගනිමින්, ඇන්තනි ඇල්බනීස්ට ඇමැතුමක් දී සුබ පැතූ බව වාර්තා වේ.

 

තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වැඩි දුරටත් කියා සිටියේය.

 

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැතිවරණයට ඉදිරිපත් වූයේ සිවුවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙනි.

 

අමතරව, සෙසු අපේක්ෂකයන් ලෙස ‘හරිත’ පක්ෂයේ ඇඩම් බැන්ඩ්, ‘එක්සත් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ ක්‍රෙග් කෙලී සහ ‘කැටර්ස් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ බොබ් කැටර් සිටියහ.

views

504 Views

Comments

arrow-up