මියන්මාරයේ යකඩ ගැහැණියගේ දේශපාලන පක්ෂයත් විසුරුවා හැරේ

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසුරුවා හැරීමට හමුදා පාලනය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
එම පක්ෂය විසුරුවා හරින බවට මියන්මාර හමුදා පාලනය යටතේ පවතින එරට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
මියන්මාර හමුදා පාලනය විසින්, දේශපාලන පක්ෂ සඳහා නව මැතිවරණ නීතියක් යටතේ ලියාපදිංචි වීමට මාස දෙකක කාලයක් ලබා දුන් අතර, එම කාලසීමාව තුළ ලියාපදිංචි වීමට අසමත් වූ පක්ෂ 40 ක් අතර අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ද වන බව වාර්තා වේ.
කෙසේවෙතත්, හමුදාව විසින් කැඳවනු ලබන මැතිවරණය නිදහස් හෝ සාධාරණ එකක් නොවන බවට මියන්මාරයේ දේශපාලන ක්‍රියාකාරීන් අදහස් පළ කොට සිටි අතර, එම ස්ථාවරය මත පිහිටමින් මැතිවරණයකට තරග නොකිරීමට අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය තීරණය කොට තිබූ බව ද වාර්තා වේ.
202 Views
Comments