රුසියාව යුක්රේන ආක්‍රමණයේ සුවිශේෂි සංධිස්ථානයකට - මරියුපෝල් මුලුමනින්ම අල්ලා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

රුසියාව යුක්රේන ආක්‍රමණයේ සුවිශේෂි සංධිස්ථානයකට - මරියුපෝල් මුලුමනින්ම අල්ලා ගනී

රුසියාව යුක්රේන ආක්‍රමණයේ සුවිශේෂි සංධිස්ථානයකට - මරියුපෝල් මුලුමනින්ම අල්ලා ගනී

යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල් අත්පත් කර ගැනීම සඳහා රුසියාව දින 80ක් පුරා ගෙන ගිය සටනේ ජයග්‍රහණය ප්‍රකාශ කර තිබෙනවා.

 

නගරයේ Azovstal වානේ කම්හල ආරක්ෂා කරන අවසන් සටන්කරුවන් දැන් යටත් වී ඇති බව මොස්කව් බලධාරීන් නිවේදනය කළා.

 

මාස ගණනාවක් තිස්සේ යුක්රේන හමුදාව මෙම විශාල වානේ කම්හල් සංකීර්ණයේ රැඳී සිටි අතර, රුසියාවට නගරයේ සම්පූර්ණ පාලනය ස්ථාපිත කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

 

ඊයේ ප්‍රහාරය යුද්ධයේ වඩාත්ම විනාශකාරී වැටලීමේ අවසානය සනිටුහන් කළ අතර, මේ වනවිට මරියුපෝල් සම්පූර්ණයෙන්ම නටබුන් බවට පත්ව තිබෙනවා.

 

යුක්රේන හමුදාවේ සෙබලුන් 531 දෙනෙක් භාර වීමත් සමග නගරය සහ එහි වානේ කම්හල දැන් "සම්පූර්ණයෙන්ම මුදාගෙන" ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

 

"සටන්කාමීන් සැඟවී සිටි කම්හලේ භූගත පහසුකම් රුසියානු සන්නද්ධ හමුදාවන්ගේ පූර්ණ පාලනයට යටත් විය," අදාල නිවේදනයේ දැක්වුණා.

 

මාර්තු 2 වැනිදා පළමුවරට රුසියානු හමුදා මරියුපෝල් වෙත පහර දීම ආරම්භ කළා.

 

මාර්තු 17 වැනිදා වන විට නගරය මුලු මනින්ම වට කල රුසියානු හමුදාව අප්‍රේල් 22 වැනිදා වන විට යුක්රේන ආරක්ෂක අංශ සහ නගරයේ විසූ සිවිල් වැසියන්ව Azovstal වානේ කම්හල තුළ කොටු කර ගත්තා.

 

සති ගණනාවක් තිස්සේ Azovstal පරිශ්‍රය සම්පූර්ණයෙන්ම වට කර තිබුණා.

 

සියලු මානුෂීය ආධාර ඇතුළුවීම අවහිර කළ රුසියානු හමුදාව එම පරිශ්‍රයට අඛණ්ඩව ගුවනින් බෝම්බ හෙලූ අතර එහි ඉතිරිව සිටින ආරක්ෂකයින්ට ඔවුන්ගේ ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටියාග ඇතුළත සිරවී සිටි අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන්, ළමයින් සහ වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු සිවිල් වැසියන් වුණා.

 

සති ගණනාවක් පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රතු කුරුස සංවිධානය විසින් සම්බන්ධීකරණය කරන ලද සාකච්ඡා වලින් පසුව මෙම මස මුලදී සිවිල් වැසියන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ගනු ලැබුවා.

 

එහෙත් වානේ කම්හල් පරිශ්‍රයේ රැඳී සිටියුක්රේන ආරක්ෂකයින් යටත් වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා රුසියාවට මූලෝපායික වරාය නගරයේ සම්පූර්ණ පාලනය අත්පත් කරගැනීමට හැකි වූයේ නැහැ.

 

Azovstal ආරක්ෂකයින් ගේ මෙම ක්‍රියාව බොහෝ යුක්රේනියානුවන්ගේ අගය කිරීමට ලක් වූ අතර එම හමුදා භට පිරිස් ජාතික වීරයන් ලෙස ද හඳුන්වා දෙනු ලැබුවා.

 

ආහාර හා ජලය ඇතුලු අත්‍යවශ්‍ය සැපයුම් සීමා කිරීම් හමුවේ සිය ගණනක් යුක්රේන සොල්දාදුවන් න්‍යෂ්ටික යුද්දයකින් ආරක්ෂා වීම සඳහා ගොඩ නැඟූ බංකර් තුළ සති ගණනාවක් තිස්සේ හිරු එළියක් හෝ නොදැක ජීවත් වුණේ රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ අපේකෂාවෙනි.

 

ඔවුන්ගේ අණ දෙන නිලධාරියා පැවසුවේ තුවාල ලැබූ සියලුම සෙබලු මේ වන විට රුසියානු බස් රථ සහ ගිලන්රථ මගින් රැගෙන ගොස් ඇති බවයි.

 

මොස්කව් නිලධාරීන්ට අනුව, මරියුපෝල් හිදී යුක්රේන හමුදා සෙබලු 2,439 ක් යටත් වී තිබෙනවා.

 

ඊයේ සහ අද යටත් වූ සොල්දාදුවන් රැගෙන යන්නේ කොතැනටද යන්න පිළිබඳව මොස්කව් ආණ්ඩුව කිසිදු තොරතුරක් නිකුත් කර නොමැති නමුත් මීට පෙර යටත් වූවන් බස් රථ මගින් රුසියානු පාලන ප්‍රදේශ වෙත යවනු ලැබුවා.

 

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වීඩියෝවක, නිරායුධ මිනිසුන් පෙළක් බලාගාරයෙන් පිටත රුසියානු සොල්දාදුවන් වෙත පැමිණ ඔවුන්ගේ නම් ලබා දෙන ආකාරය දැක්වෙනවා.

 

එවිට රුසියානුවන් එක් එක් පුද්ගලයා සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය හොඳින් පරීක්ෂා කරනවා.

 

යුක්රේන බලධාරීන් බලාපොරොත්තු වන්නේ සිරකරුවන් හුවමාරුවක කොටසක් ලෙස ඔවුන් නිදහස් කළ හැකි නමුත් එය රුසියාව මෙතෙක් එවැනි පියවරක් තහවුරු කර නැහැ.

 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ සොල්දාදුවන්ට "අදාළ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව" සලකන බවයි.

 

කෙසේ වෙතත්, පසුගියඅඟහරුවාදා රුසියානු නීති සම්පාදකයින් යුක්රේනය සමඟ කිසිදු සිරකරු හුවමාරුවක කොටසක් නොවිය යුතු බව සලකමින් අසෝව් රෙජිමේන්තු සටන්කරුවන් "නාසි අපරාධකරුවන්" ලෙස ප්‍රකාශ කිරීමට සැලසුම් ඉදිරිපත් කළා.

 

Azov රෙජිමේන්තුව, 2014 දී ස්වේච්ඡා මිලිටරි කණ්ඩායමක් ලෙස පිහිටුවන ලද නමුත් දැන් ජාතික ආරක්ෂක ඒකකයක් ලෙස සලකනවා.

 

රුසියානු නීතිපතිවරයා, එම ඒකකය "ත්‍රස්තවාදී සංවිධානයක්" ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අසෝව් සටන්කාමීන් සාම්ප්‍රදායික යුද සිරකරුවන් ලෙස සැලකීම වැලැක්වීමේ උත්සාහයක් ලෙසින් බව පැහැදිලියි.

 

රුසියානු ආක්‍රමණය නිසා යුක්රේනයට සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 600කට අධික බව ෆෝර්බ්ස් සඟරාව සති කිහිපයකට පෙර වාර්තා කළා.

 

යටිතල පහසුකම්වලට සිදු වූ හානිය බිලියන 92ක් පමණ වන බව කිව්හි ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයක් සිදු කළ පර්යේෂණයක දත්ත උපුටා දැක්වූ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණා.

 

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුද්ධය ආරම්භයේ දී පුරෝකතන කර තිබුණේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් රටට සිදුවන හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 550ක් පමණ වනු ඇති බවටයි.

 

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මාසිකව ඩොලර් බිලියන 7ක පමණ මූල්‍ය සහයෝගීතාවක් යුක්රේනයට අවශ්‍ය වනු ඇති බවද ඔහු එහිදී සඳහන් කර තිබුණා.

 

කර්මාන්ත ශාලා 195ක්, සෞඛ්‍ය පහසුකම් මධ්‍යස්ථාන 230ක් සහ අධ්‍යාපන ආයතන 940ක් මුලුමනින්ම විනාශ වී හෝ හානි වී හෝ රුසියාව විසින් අත්පත් කර ගෙන ඇතැයි අධ්‍යයන වාර්තාව පෙන්වා දී තිබෙනවා.

 

පසුගිය සතියේ පමණක් සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම්වලට සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් බව එම වාර්තාවේ සඳහන්.

 

යුක්රේනයට මේ සා විශාල හානියක් සිදු වූයේ අසල්වැසියාට අවතක්සේරු කර වෙනත් පාර්ශ්වයන් මත අධි විශ්වාසයකින් පසු වීමයි.

 

රුසියානු ආක්‍රමණයකදී නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය සිය පූර්ණ සහය තමන් වෙත ලබා දෙනු ඇති බවට යුක්රේනය විශ්වාස කළා.

 

නමුත් ආක්‍රමණය හෙළා දැකීම්වලින් ඔබ්බට අන් සහයක් යුක්රේනයට නොලැබුණු බව සදාතනික සත්‍යයි.

 

ඊට අමතරව සීමිත සම්බාධක පනවනු ලැබූ අතර අති විශාල ආර්ථිකයකට හිමිකම් කියන රුසියාවට එහි බලපෑම අතිශය තීරණාත්මක වූයේ නැහැ.

 

නමුත් යුරෝපයේ බලශක්ති සැපයුම්කරුවා ලෙස රුසියාව ගනු ලබන දැඩි පියවරයන් සමස්ත යුරෝපය නතර කිරීමට තරම් ප්‍රබල වනු ඇති.

 

බලවත් අධිරාජ්‍යයන් අසල්වැසියන් වන කුඩා ආර්ථිකයක් හිමි රටවල සාමය සහ ස්ථාවරත්වය මුළුමනින්ම අසල්වැසි බලවතා මත රැඳී තිබෙන බවට මෑත කාලීන භූ දේශපාලන අවකාශය තුල යුක්රේනය තරම් නිදසුනක් තවත් නැහැ.

 

ඉන්දියාව වැනි බලවතෙකුගේ අසල්වැසියෙක් වන ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය, භූතානය වැනි රටවල ඉරණමද එසේ නොවනු ඇතැයි පැවසිය හැකි වන්නේ කෙසේද? විශේෂයෙන් අර්බුකාරී දේශපාලනික හා ආර්ථික සංදර්භයක් තුල වුවද ශ්‍රී ලංකාවට ඉන්දීය සාධකය තුලනය කර ගැනීම අතිශයින් වැදගත් වනු ඇති.

 

ආර්ථික අර්බුදයෙන් මිදීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි අති විශාල සහන පැකේජයක් මේ වන විටත් ලබා දීම සහ ඉදිරියේදී තවදුරටත් සහය ලබා දෙන බවට ප්‍රතිඥා දීම හරහා ඉන්දියාව උලුප්පා දක්වන එම භූ දේශපාලනික පණිවුඩය තේරුම් ගැනීම රාජ්‍යයේ මෙන්ම ආණ්ඩුවේ ද වගකීමයි.

 

එය ඉන්දියාවේ හුදු ‘අසල්වැසියාට පළමුව‘ යන සංකල්පයක් පමණක්ම නොවේ.

views

606 Views

Comments

arrow-up