නඩු හබ මැද බොරදියේ මාළු බාන ට්‍රම්පච්චී

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයේ දී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
2016 ජනාධිපතිවරණ සමයේ දී ඇමරිකාවේ හිටපු නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීම හා ව්‍යාජ ලිපි ලේඛන සැකසීම ඇතුළු අපරාධ 34 ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවත්, එම සියළුම චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
එසේම, තමන්ට එරෙහිව එල්ල චෝදනා දේශපාලන බලපෑම් මත සිදු කෙරෙන ඒවා බව ද, එම චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද කියා සිටින ට්‍රම්ප්, ඇමරිකානු නීති සම්පාදකයින්ගේ ක්‍රියාකලාපය ද දැඩි සේ විවේචනය කර ඇති බව වාර්තා වේ.
ඔහුට එරෙහිව එල්ල වී ඇති අධිචෝදනා අයත් වන්නේ එක්සත් ජනපදයේ අවම දඩුවම් හිමිවන අපරාධ කාණ්ඩයට බව පෙන්වා දෙන ඇමරිකානු නීති විශාරදයින් එම චෝදනා සඳහා උපරිම වශයෙන් වසර 4 ක සිර දඩුවමක් නියම වන අතර, බොහෝ විට ට්‍රම්ප් දඩයක් ගෙවීමෙන් පමණක් නිදහස් වනු ඇති බවට මත පළ කොට සිටී.
තමා කළ එකම අපරාධය රට විනාශ කිරීමට උත්සාහ කරන අයගෙන් රට බේරා ගැනීම පමණක් බව කියා සිටින හිටපු ජනපතිවරයා, මෙවැනි පදනම් විරහිත චෝදනා සමස්ත ඇමරිකාවටම අපහාසයක් බවද කියා සිටී.
කෙසේ වෙතත් මෙම සමස්ත නඩු කටයුත්ත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරයට මහත් වාසියක් වී ඇති බව පෙන්වා දෙන ඇමරිකානු දේශපාලන විචාරකයින් කියා සිටින්නේ, මෙම වියවුල් මැද ඔහුගේ ඡන්ද ශ්‍රේණිගත කිරීම් ඉහළ ගොස් ඇති අතර, ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඩොලර් මිලියන 10 කට අධික මුදලක් මේ වන විට එක් රැස් වී ඇති බවයි.
244 Views
Comments