කඩා වැටුණු ඩ්‍රෝනය නිසා රුසියාව හා ඇමරිකාව මතගැටුමක

පෙරේදා දිනයේදී (14) රුසියානු දේශ සිමාව ආසන්නයේ පිහිටි කළු මුහුද ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් සීමාවේ සාමාන්‍ය මෙහෙයුමක නිරතව සිටි අමෙරිකානු නියමුවන් රහිත ගුවන් යානාවක් රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක ගැටීමෙන් අනතුරට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර මතභේදාත්මක තත්ත්වයක් උත්සන්න වී තිබේ.
රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් සිතාමතාම තම MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානය බිම හෙළූ බවට ඇමරිකාව චෝදනා කර සිටී. මේ වන විට කඩා වැටුණු ඩ්‍රෝන යානාව කළු මුහුද පත්ලේ ඇති බවත් එය සතුරු පාර්ශ්වයකගේ අතට පත්වීමට ඇති ඉඩකඩ අවම බවත් ඇමරිකානු ආරක්ෂක අංශයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. මෙම සිදුවීමෙන් පසු වොෂින්ටනය විසින් එරට රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් කැඳවා එම සිදුවීම පිළිබඳව චෝදනා කර ඇති අතර රුසියානු තානාපතිවරයා අමෙරිකාවට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ සිය රටේ දේශසීමා අසල වෙනත් පාර්ශ්ව විසින් සිදුකරනු ලබන අනවශ්‍ය ගුවන් ගමන් නතර කළ යුතු බවයි. එසේ සිදුවූහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත. කෙසේ නමුත් රුසියානු තානාපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසුවද ධවල මන්දිරයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ සිය ගුවන් යානා වලට කළු මුහුද හරහා පියාසර කිරීමට අවසර දී ඇති බවයි.
මෙලෙස කඩා වැටුණු MQ-9 රීපර් ඩ්‍රෝන් යානය ඩොලර් මිලියන 32 ක් වටිනා යානයක් වන අතර එය දිගු දුර නිරීක්ෂණ මෙහෙයුම් සඳහා සන්නද්ධ, මිනිසුන් රහිත ඔත්තු බැලීමේ ගුවන් යානයක් වේ. ගොඩබිමේ පිහිටි මෙහෙයුම් මැදිරියක සිට නියමුවන් දෙදෙනෙකු විසින් පාලනය කරනු ලබන එම යානයට ඇතැම් විට සැතපුම් 5,000 ක් පමණ දුර, පැය 20 ක් පියාසර කළ හැකි බවත් අඩි 52,000 දක්වා ඉහළ සිට බුද්ධි තොරතුරු ලබා ගත හැකි බවත් වාර්තා වේ.
2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු ඇමරිකාව විසින් යුද පෙරමුණේ තොරතුරු රැස් කිරීමට නියමුවන් රහිත යානා යොදා ගනිමින් චායාරූප ලබාගන්නා බවට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි මෙම සිදුවීමෙන් පසු සඳහන් කර තිබේ. තවද පසුගිය වසරේ ජූලි මාසයේදී ඇෆ්ගනිස්ථානයේ කාබුල්හිදී අල් කයිඩා ප්‍රධානී අයිමන් අල්-සවාහිරි ඝාතනය කිරීමට CIA සංවිධානය විසින් යොදා ගනු ලැබුවේද මෙවැනිම MQ-9 රීපර් ඩ්‍රෝන් යානාවක් වීම විශේෂත්වයකි.
169 Views
Comments