ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එසැනින් ප්‍රින්ට් කරන අපූරු හිතවතා - "Polaroid Lab"
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එසැනින් ප්‍රින්ට් කරන අපූරු හිතවතා - "Polaroid Lab"

ෆෝන් එකෙන් ගන්න ෆොටෝ  එසැනින් ප්‍රින්ට් කරන අපූරු හිතවතා - "Polaroid Lab"

පොලරොයිඩ් කැමරා යනු ඡායාරූපයක් ලබා ගත් සැනින්ම එය කඩදාසි මුද්‍රණය කර පිටපත ලබා දෙන කැමරා වර්ගයකි. ස්මාර්ට් ෆෝන් මෙන්ම ඩිජිටල් කැමරා ප්‍රචලිත වීමත් සමඟ පොලරොයිඩ් කැමරා අභාවයට ගියේය. එහෙත් දැන් අලුත් පුරුදුවලට ගැළපෙන සේ නව පොලරොයිඩ් උපාංගයක් එළි දැක තිබේ. එය පොලරොයිඩ් ලැබ් (Polaroid Lab) උපාංගය ලෙස හඳුන්වයි. මේසයක් මත තබා භාවිත කළ හැකි පොලරොයිඩ් ලැබ් උපාංගය සාමාන්‍ය ෆොටෝ ප්‍රින්ටරයක් නොවේ. මන්ද මෙහිදී තීන්ත භාවිතා නොකරන බැවිනි. එහි ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආලෝකය හමුවේ කෙරෙන රසායනික ද්‍රව්‍ය වල වෙනසක් හෙවත් ප්‍රකාශ රසායනික විපර්යාසයකි. එහි ප්‍රතිඵලය සාමාන්‍ය ඡායාරූප කඩදාසියක හෙවත් ෆොටෝ පේපර් එකක් මත මුද්‍රණය කලා වැනි ම ඡායාරූපයකි. 


පොලරොයිඩ් ලැබ් උපකරණයේ ඉහළින්ම වීදුරු තහඩුවකින් ආවරණය කර ඇති කැමරාවකි. එය මත ස්මාර්ට් ෆෝනය තැබූ විට එහි තිරයෙන් පෙන්වන ඡායාරූපය පොලරොයිඩ් ලැබ් උපකරණයට උකහා ගනී. එනම් එහි ඇති කැමරාවෙන් එහි ඡායාරූපය නාභිගත කොට උපකරණයේ ඇති ආලෝක සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මතුපිටක් ඇති ෆොටෝ පේපර් එක මතට පරාවර්තනය කරවයි. එවිට සිදුවන ඡායාරූප සැකසීමේ ක්‍රියාවලිය හෙවත් ප්‍රකාශ විකාශනය නිසා කඩදාසිය මත ඡායාරූපය ප්‍රතිනිර්මාණය වී සාමාන්‍ය පොලරොයිඩ් ඡායාරූපයක්  පිටතට එවයි. එය සාමාන්‍ය ආලෝකය හමුවේ ස්වල්ප වෙලාවක් තිබූ විට සම්පූර්ණ වී නියම ඡායාරූපය ලැබේ.


මෙහිදී කෙරෙන්නේ හුදෙක් ස්මාර්ට් ෆෝනයේ තිරය එලෙසින්ම මුද්‍රණය කිරීමක් නොවේ. පොලරොයිඩ් ලැබ් උපකරණයේ කැමරා තිරය මත තබන ස්මාර්ට්ෆෝනයේ තිරය මුද්‍රණ ක්‍රියාවලියට ගැලපෙන සේ සකස් කිරීම පිණිස විශේෂ ඇප් එකක් වෙයි. පොලරොයිඩ් ඔරිජිනල් ඇප් (Polaroid Original App) යන නමින් යුත් මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග මෙන්ම අයිෆෝන් වෙනුවෙන්ද සකසා තිබේ.


ඇන්ඩ්‍රොයිඩ් 7.0 සංස්කරණය සහ ඊට පසුව ආ සංස්කරණ හමුවේ මෙන්ම අයිඕඑස් 11 සහ ඊට පසුව ආ සංස්කරණ හමුවේ මෙම ඇප් එක ක්‍රියාත්මක කර හැකිය. පොලරොයිඩ් ඔරිජිනල් ඇප් එක ක්‍රියාත්මක කළ විට ස්මාර්ට්ෆෝනයේ ඇති ඡායාරූප අතරින් අවැසි ඒවා තොරාගෙන ඇප් එකට හඳුන්වා දිය හැකිය. එවිට එම ඡායාරූප පොලරොයිඩ් ආකෘතියට අනුව සැකසෙයි. එනම් හරි හතරස් ඡායාරූපයේ ඉහළින් සහ දෙපසින් සමාන ඝනකමැති බෝඩරයක් තිබියදී ඊට වඩා ඝනකමැති බෝඩරයක් පහළින් පිහිටන සේය. මෙම බෝඩරය විස්තර ලිවීම වෙනුවෙනි. ඇප් එක ඔස්සේ අවශ්‍ය නම් ඡායාරූප හඳුනාගත හැකි බාර්කෝඩ් (Barcode) එකක් එතැනට එක් කර ගන්නටත් පුළුවන.

views

241 Views

Comments

arrow-up