කෑම බීම ප්‍රින්ට් කරන්න පුළුවන් කියල කවදාවත් හිතුවද? නව ලොවේ අලුත්ම පෙරළිය - 3D Food Printing
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

කෑම බීම ප්‍රින්ට් කරන්න පුළුවන් කියල කවදාවත් හිතුවද? නව ලොවේ අලුත්ම පෙරළිය - 3D Food Printing

කෑම බීම ප්‍රින්ට් කරන්න පුළුවන් කියල කවදාවත් හිතුවද? නව ලොවේ අලුත්ම පෙරළිය - 3D Food Printing

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (three dimensional printing) ප්‍රථම වරට ලෝකයට හඳුන්වා දෙන ලද්දේ වසර 1986 දී ඇමරිකා එක්සත් ජනපදයේදී වේ. දශක ගණනාවක් තිස්සේ මෙම තාක්ෂණය පාරිසරික, හමුදාමය කටයුතු, වෛද්‍ය ආදි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අතිමහත් දියුණුවක් ළඟා කරගෙන ඇත. කෙසේ වෙතත්, ලොව පුරා තවමත් ප්‍රසිද්ධියට පත් වී නැති ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ නවතම සොයාගැනීම නම්, ‘ත්‍රිමාණ මුද්‍රිත ආහාර’(3D printed food) කලාවයි. මෙම තාක්ෂණය තවමත් පවතින්නේ එහි මුල් අවදියේ වීමත් සහ භාවිතය අවම වීම නිසාත් අනෙකුත් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයන්ට සාපේක්ෂව අවම ප්‍රචලිත බවක් පෙන්නුම් කරයි.

 

කෙසේ වෙතත්, 3D ආහාර මුද්‍රණය ඇතැම් රටවල් වල යුධ නිලධාරීන් සඳහා විශේෂයෙන් සකසන ආහාර වේල් (combat ration), අජටාකාෂගාමීන් සඳහා වන ආහාර (space food), නවතම ආහාර පිළිගන්වන ක්‍රමයක් වන floating food වැනි විවිධ විශේෂ ආහාර වර්ග සැකසීමට භාවිතා කරනු ලබයි. ත්‍රිමාණ තාක්ෂණයෙන් තනන ආහාර අනාගතයේදි ආහාර ලෝකයේ විප්ලවකාරී වෙනසකට හේතු වනු ඇති බව බොහෝ විද්වතුන් දරන මතයයි.

 

මෙම තාක්ෂණයේදී, මස් වර්ග, චොක්ලට්, පැණි රසැති ආහාර, සෝස් වර්ග, pizza dough වැනි ආහාර, අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් විවිධ ආහාර ආකෘතීන් නිර්මාණය කරනු ලබයි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ, මෙම 3D ආහාර මුද්‍රණ තාක්ෂණයේදී, අවශ්‍යතාවය අනුව, යොදන ආහාර ද්‍රව්‍යයන්, පෝෂක ප්‍රමාණයන්, කැලරි ප්‍රමාණයන්, රසකාරක, සුවඳකාරක ප්‍රමාණයන් ආදීන් යාමනය කළ හැකි වීමයි. එම නිසා, පුද්ගලානුබද්ධ ආහාර (personalized food) සැකසීමට මෙම තාක්ෂණය භාවිතා කළ හැක. ඒ අනුව ක්‍රීඩකයින්, ළඳරුවන්, ගැබිණි කාන්තාවන්, රෝගීන්, හමුදා සාමාජිකයින් වැන්නවුන් සඳහා විශේෂිත ආහාර සැකසීමට මෙම තාක්ෂණයට භාවිතා තළ හැකිය.

 

3D ආහාර මුද්‍රණ තාක්ෂණයේදී, සැකසෙන එක් එක් ආහාර සදහා එකිනෙකට වෙනස් වන ආහාර ක්‍රමලේඛයන්  (food designing program) පවතින අතර එම ක්‍රමලේඛ ආශ්‍රයෙන් විශේෂ වූ ඇල්ගොරිතමයක් (algorithm) තැනීම සිදු කරනු ලබයි. එම විශේෂ ඇල්ගොරිතමය මුද්‍රණ යන්ත්‍රය මගින් හඳුනාගන්නා අතර ඒ අනුව ඇතුළත් කර ඇති ආහාර ද්‍රව්‍යයන් ඇසුරෙන් සියුම් ලෙස ආහාරය නිර්මාණය කිරීම සිදු වේ. 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයේ මූලික යාන්ත්‍රණය නම් ස්ථර ආකාරයෙන්, ආහාර අමු ද්‍රව්‍යයන් උපචිත කිරීම (accumulation) යි. ඊට අනුකූලව මුද්‍රණ යන්ත්‍රයේ වේදිකාව මත දී, පෙර නිර්ණය කරන ලද (pre-determined ) හැඩය සහ ව්‍යුහය ඇසුරෙන් ආහාරය නිර්මාණය වීම සිදු වේ.

 

මෙහිදී, CAD (Computer Aided Design) හෝ 3D scanner භාවිතයෙන් අදාල යෙදිය යුතු ආහාර ද්‍රව්‍යයන්ගේ අනුපාත සහ පෝෂක පිළිබඳ දත්තයන් ස්ථානගත කිරීමක් සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය ස්ථර වශයෙන් සහ ත්‍රිමාණව ආහාර සකස් වීමට පෙර සිදු කළ යුතු වේ. ආහාර මුද්‍රණයේදි තැන්පත් කරවීමේ ක්‍රියාවලිය මගින් ආහාරයේ ව්‍යූහය ගොඩනැගෙගෙඅතර කැපුම් ක්‍රියාවලියක් මගින් ආහාරයේ හැඩය නිර්මාණය කිරීම සිදු වේ.

 

ත්‍රිමාණ මුද්‍රිත ආහාර සැකසෙන ක්‍රමයන් අනුව ප්‍රධාන ආකාර කිහිපයකි.  ඒ අතරින් extrusion printing , binder jetting සහ inkjet printing ප්‍රධාන ක්‍රම ලෙස සැලකිය හැකිය.

 

Extrusion ආශ්‍රිත මුද්‍රණ ක්‍රමයේදී ඝන සහ පේස්ට් ආකාරයේ ආහාර අමුද්‍රව්‍යයන් භාවිතයෙන් චොක්ලට්, පැණිරසැති ආහාර වර්ග, සීනි භාවිතයෙන් සාදන ආහාර සැරසිලි වර්ග (sugar based decorations) ආදිය සැකසීම සිදු කළ හැකිය.

 

Binder jetting ක්‍රමය බොහෝවිට භාවිතා වන්නේ පවුඩර් සහ දියරමය ලෙස පවතින ආහාර අමුද්‍රව්‍ය යෙදෙන විටදී වේ. මෙම ක්‍රමය භාවිතයෙන්, චොක්ලට්, පීසා සහ ඇතැම් ව්‍යාජ ආහාර (fake food) වර්ගද සකසනු ලබයි.

 

Inkjet මුද්‍රණ ක්‍රමය දියරමය සහ අඩු දුස්ස්‍රාවීතාවයක් පවතින ආහාර අමුද්‍රව්‍ය සඳහා භාවිතා වේ. චොක්ලට්, දියරමය පිටි මිශ්‍රණ (liquid dough), සීනි වලින් තැනෙන අයිසින් වර්ග, මස් තැවරුම්, චීස්, ජෑම් සහ ජෙලි වර්ග තැනීමට යෙදෙන ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය දැක්විය හැකියි. 

 

කෙසේ වෙතත්, මෙම ත්‍රිමාණ ආහාර මුද්‍රණ තාක්ණයට අවශ්‍ය වන ආකාරයේ ප්‍රමිතියෙන් යුතු එම ව්‍යූහමය අවශ්‍යතා සපුරාලන අමුද්‍රව්‍ය දුර්ලභ වීම, එම අමුද්‍රව්‍ය තැනීමට යන ඉහළ වියදම, මෙම තාක්ෂණයට පවතින අවම ඉල්ලුම, ව්‍යාප්‍තිය සහ දැනුවත්භාවය, මෙම ආහාර කලාවට පවතින ඇතැම් ගැටළු වේ.

 

3D මුද්‍රිත ආහාර සැකසුම් රටාවේ පවතින අවාසි කිහිපයක් නම්, පාරිභෝගිකයා විසින් අපේක්ෂා කරන ඉහළ ගුණාත්මකභාවය (quality) ළගා කරගැනීම අපහසු වීම, එසේ සැකසෙන ඇතැම් ආහාර වල පවතින දැඩි සහ කැඩෙන සුළු භාවය, අමුද්‍රව්‍ය සපයාගැනීමේ ගැටළු, ඉහළ වියදම, කැපුම් වැනි ක්‍රම වලදී අමුද්‍රව්‍ය අපතේ යෑම ඉහළ වීම, ආදියයි.

 

කෙසේ නමුදු, මෙම තාක්ෂණයේ පවතින විශේෂත්වය සහ වාසීන් වන්නේ, නව සහ ආකර්ෂණීය ආහාර වර්ග නිපදවීම, ආහාර වර්ග පුද්ගලානුබද්ධ රුචි අරුචිකම් අනුව සැකසිය හැකි වීම සහ ඉහළ සැකසුම් වේගය යනාදියයි.

 

ත්‍රිමාණ ආහාර මුද්‍රණ කලාව නැගී එන තාක්ෂණයක් වන අතර එම තාක්ෂණයේ පවතින අඩු පාඩුකම් හදුනාගනිමින්, තවදුරටත් එය දියුණු කිරීම තුළින් නුදුරු අනාගතයේදි වඩා නිර්මාණශීලි සහ විශ්මිත ආහාර නිමැවුම් ආහාර ලොවට තිළිණ කළ හැකි වනු නොඅනුමානය.

views

245 Views

Comments

arrow-up