සිංහල පුස්කොළ පොත් ඩිජිටල් මාධ්‍යයට

පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism UK සංවිධානය එක්වී බ්‍රිතාන්‍ය පුස්තකාලයේදී පසුගියදා ''සිංහල පුස්කොළ පොත් අත්පිටපත් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය'' නම් ගිවිසුමකට අත්සන් තැබීය.
මීට පෙර ශ්‍රී ලංකා පුස්කොළ පොත් අත්පිටපත් හතරක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඩිජිටල්කරණය කළ අතර ඒවා බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියෙන් හා පරමත්ථ වෙබ් අඩවිය මගින් සියල්ලන්ටම නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දී තිබේ. පරමත්ථ සංවිධානය වෙනුවෙන් පූජ්‍ය ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් ගිවිසුමට අත්සන් තැබූ අතර බ්‍රිතාන්‍ය පුස්තකාල මණ්ඩලය වෙනුවෙන් සර්ක්සීස් මැස්ඩා ගිවිසුමට අත්සන් තබා ඇත.
පරමත්ථ සංවිධානය පෙන්වා දෙන්නේ සිංහල පුස්කොළ පොත් අත්පිටපත් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පුස්තකාලය සතුව පවතින බවත්, ඒවායින් බොහෝමයක් හියු නෙවිල් (1847 - 1897) විසින් යටත් විජිත් යුගයේ සිවිල් සේවකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ වසර 32ක කාලයක් තුළ එක්රැස් කරන ලද එකතු කිරීම්වල කොටස් බවත්ය. එම එකතුවට 17 සිට 19 වන සියවස දක්වා දිවෙන ගද්‍ය හා පද්‍ය අත්පිටපත් 2,227ක් ඇතුළත් බවත් වාර්තා වෙයි.
මේ අතර ත්‍රිපිටක අට්ඨකථා ඇතුළු බෞද්ධාගමික ග්‍රන්ථ හා සාහිත්‍ය, ඉතිහාසය ග්‍රන්ථ, පාලි ව්‍යාකරණ, ජ්‍යොතිෂ්‍ය, සිංහල වෛද්‍ය විද්‍යාව, ගණිත හා වාරි තාක්ෂණය ආදී පුළුල් පරාසයක විහිදුනු මෙම වටිනා අත්පිටපත්වල ඩිජිටල්කරණ වියදම පියවා ගැනීම සඳහා පරිත්‍යාග කිරීම තුළින් පරමත්ථ සහ ICTB UK සංවිධාන සමග සම්බන්ධව මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයට සහාය වීමට ලොව පුරා වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට අවකාශය සැලසී ඇති බව පරමත්ථ සංවිධානය පෙන්වා දෙයි.
321 Views
Comments