ඔබේ පරිගණකයට වින කරන මොනවද මේ "RSK" බිනෝලිගෙන් IT Tips - 07

ඇතැම් පරිගණක වැඩසටහන් සමග තියෙන රිමෝට් සොෆ්ට්වෙයා කීලොගර් (Remote Software Keylogger) හානිදායකද? එසේ නම් එම හානි වළක්වා ගන්නේ කෙසේද?
සොෆ්ට්වෙයා කීලොගර් යනු පරිගණකයේ තැන්පත් වී පෞද්ගලික දත්ත වෙනත් පරිගණක වෙත යවන මෘදුකාංගයකි. එනම් මෙය මැල්වෙයා (Malware) වර්ගයේ නරක වැඩසටහනකි.රිමෝට් සොෆ්ට්වෙයා කීලොගර් සකස් කරන්නේ නරක චේතනාවෙන්ය. ඒවා විවිධ මෘදුකාංග සමග සම්බන්ධ කර පරිගණක අතර පැතිරෙන්නට සලස්වා තිබේ. මෙවැනි වැඩසටහන් තිබෙන්නේ ප්‍රකට පරිගණක මෘදුකාංග සමග නොව විවිධ වෙබ් සේවා හරහා ඉදිරිපත් කරන සරල වැඩසටහන් සමගයි. මෙවැනි වැඩසටහන් වලින් බොහෝ කාර්යක්ෂමව සහ පහසුවෙන් වැඩ කර ගත හැකිය කියා කීවත් සැබැවින් එසේ නැත. එහි ප්‍රචාරක පාඨ ගැන විශ්වාස කර ඉන්ස්ටෝල් කරගත් විට ඒ සමඟ කීලොගර් වැඩසටහන්ද පරිගණකයට එයි. ඊමේල් ඇටෑච්මන්ට් (Email Attachment) ලෙසත් කීලොගර් පැමිණීමට පුළුවන. එසේ පැමිණෙන කීලොගර් වැඩසටහනක් ඉන්ස්ටෝල් වූ පසු ෆෝම් පිරවීමට අදාල තොරතුරු, විවෘත කරනු ලබන වෙබ් පිටු වලට අදාල තොරතුරු, අප විසින් පරිගණකයේ භාවිත කරනු ලබන මෘදුකාංග වලට අදාල තොරතුරු යනාදිය කීලොගර් වැඩසටහන නිර්මාණය කර එවූ තැනැත්තා වෙත යවයි. වැඩසටහන සකසා තිබෙන්නේ කොතැනින් හෝ සොයාගන්නා මෙවැනි තොරතුරු එහි නිර්මාපකයා විසින් නම් කරන ලද පරිගණකයට පැමිණ රැස්වන සේය. එවිට මෙම දත්ත ස්පෑම් ඊමේල් (Spam Email) එවීමේ පටන් බැංකු ගිණූම් වලින් අයිතිකරුට නොදැනී මුදල් ගැනීම දක්වා වෙන නොයෙක් සොරකම් වලට යොදා ගන්නටද පුළුවන. ඇතැම් කීලොගර් මෘදුකාංග මගින් පරිගණකයේ ඇති වෙබ් කැම් එක ක්‍රියාත්මක කර එයින් ඡායාරූප ලබා ගෙන ඒවා පවා කීලොගර් වැඩසටහන නිර්මාණය කර එවූ තැනැත්තා වෙත යවයි.
රිමෝට් සොෆ්ට්වෙයා කීලොගර් වලින් ආරක්ෂා වීමට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය නම් විශ්වාසනීය නොවෙන වෙබ් අඩවි වලින් හෝ ඊමේල් මාකටින් වලින් හෝ දැනගන්නා වෙබ් අඩවි වලට පිවිස වැඩසටහන් ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් වැළකී සිටීමයි. එසේම හොඳ ඇන්ටි වෛරස් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කර එය නියමිත පරිදි අප්ඩේට් (Update) කරමින් භාවිත කළ විට මෙවනි නරක වැඩසටහන් පරිගණකයට ඉන්ස්ටෝල් වීම වැළකේ.
265 Views
Comments