ලංකා ක්‍රිකට් යුවතියන්ට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (04) පැවති එක්දින තරගයෙන් ලකුණු 58 විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දු වාර 30 කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 30 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගන්නට සමත් විය.
ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දු වාර 29 පන්දු පහකදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 60 කදී ලකුණු 64 ක් ලබා ගත් අතර, ඇගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ද ඇතුළත් විය.
ඇයට විශාල සහයෝගයක් ලබා දුන් අංක 03 පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ඉනිම අවසන් වන තුරු කඩුල්ලේ රැඳී සිටිමින් හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 45 ක් ලබාගත්තාය.
ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 50ක් ව තිබියදී දැවී යාමෙන් පසුව පිටියට පිවිසි හර්ෂිතා සහ චමරි ගේ සම්බන්ධතාවය ලකුණු 103 දී චමරි දැවී යාමත් සමග බිඳී ගිය අතර , ඉනිමේ අවසාන භාගයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ කවීෂා දිල්හාරි පන්දු 15 කදී නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තා ය.
පන්දු යැවීමේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ඕෂධී රණසිංහ ලකුණු 29 කට කඩුලු 5ක් දවා ගන්නට සමත් වූ අතර, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර, චමරි අතපත්තු සහ උදේශිකා ප්‍රබෝධනී එක් කඩුල්ල බැගින් දවා ගන්නට සමත් විය.
230 Views
Comments