ශ්‍රී ලංකාවට ලකුණු 317ක වාර්තාගත පරාජයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණ තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය අද (15) කේරලයේ තිරුවානන්දපුරම් හි දී පැවැත්වුණි.
එම තරඟයෙන් ලකුණු 317ක දැවැන්ත පරාජයකට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ඒත් සමඟ එක්දින තරඟයක් වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් කණ්ඩායමේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිම් ක්‍රීඩා කළ Virat Kohli පන්දු 110කින් ලකුණු 166ක් ද Shubman Gill පන්දු 97කින් ලකුණු 116ක් ද රැස් කරමින් ශතක වාර්තා කිරීමට සමත්විය.
ඊට අමතරව Rohit Sharma ලකුණු 42ක් ද Shreyas lyer ලකුණු 38ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 391ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 22ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19ක් ද කසුන් රාජිත ලකුණු 13ක් ද දසුන් ශානක ලකුණු 11ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Mohammed Siraj කඩුලු 4ක් ද Kuldeep Yadav හා Mohammed Shami කඩුලු 2ක බැගින් ද බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව එම තරඟය ජය ගැනීමත් සමඟ තරඟ 3කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලය තරඟ 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
තරඟයේ වීරයාට සහ තරඟාවලියේ වීරයාට හිමි කුසලාන 2ම විරාට් කෝලිට හිමිවිය.
181 Views
Comments