ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු දෙවන දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට මෙවර රුපියල් ලක්ෂ 4 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙය මෙරට පාපැදි තරග බිමේ ප්‍රමුඛතම තරගය ලෙස සැලකේ.
ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ගුවන් හමුදා පාපැදි කමිටුවේ සභාපති එයාර් වයිස් මාෂල් ලසිත සුමනවීර මහතා ප්‍රකාශ කළේ, ලබන මාර්තු මස 2 වැනිදා ආරම්භ වන 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සෙසු ජයග්‍රාහකයන්ගේ මුදල් ත්‍යාගයන් ද කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බවයි. එය පසුගිය වසරේ පැවති පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට පිරිනැමුණු මුදල් ත්‍යාගයට වඩා රුපියල් ලක්ෂයක වැඩිවීමක් වන අතර, මෙවර පිරිනැමෙන සමස්ත මුදල් ත්‍යාගය ද කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබේ.
ගුවන් හමුදාවේ සංවත්සර දිනයේදී ආරම්භ වන මේ තුන්දින පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා කිලෝමීටර් 116.7 ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරෙන අතර, මාර්තු මස 3 වැනිදා දෙවැනි අදියර යටතේ පල්ලෙකැලේ සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර් 146.7 ක දුරක් ද, මාර්තු මස 4 වැනිදා තුන්වැනි අදියර යටතේ පොලොන්නරුව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 132 ක දුර ප්‍රමාණයක් ද ආවරණය කිරීමට නියමිතය. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 395.4 කි.
256 Views
Comments