89 වැනි සාන්තුවරයින්ගේ සටන හෙට සහ අනිද්දා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික බාලක පාසල් දෙකක් වන මරදාන සාන්ත ජෝසප් විදුහල හා බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් 89 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන 28-29 දෙදින කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඩයලොග් ආසියාටා සමාගම මෙවරත් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය දෙවසර තුළ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ මෙම තරගය විදුහල් දෙකේ ප්‍රධාන පියතුමන්ලාගේ අනුශාසකත්වය යටතේ, මෙවර ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සාන්තුවරයන්ගේ සටනේ ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන පිතිකරුවකු සහ කඩුලු රකින ක්‍රීඩකයෙකු වන සදීෂ ජයවර්ධන සාන්ත ජෝසප් පිල මෙහෙයවන අතර, තුන්ඉරියව් ක්‍රීඩක නිමුතු ගුණවර්ධන සාන්ත පීතර කණ්ඩායම මෙහෙයවයි.
සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ 12 ක් දිනාගෙන මෙම තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවේ.
2016 දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ 10 වැනි ජයග්‍රහණය වාර්තා කළ සාන්ත පීතර විදුහල මේ දක්වාම කුසලානය අඛණ්ඩව තමන් සන්තකයේ රඳවා ගැනීමට සමත්ව සිටී.
217 Views
Comments