හලාවතදී බිරිඳ පැහැරගෙන ගිය සැමියා පොලිසියට භාරවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

හලාවතදී බිරිඳ පැහැරගෙන ගිය සැමියා පොලිසියට භාරවෙයි

හලාවතදී බිරිඳ පැහැරගෙන ගිය සැමියා පොලිසියට භාරවෙයි

පසුගිය 19 වනදා හලාවත, මුනුවන්ගම ප්‍රදේශයේදී සිය බිරිඳ පැහැරගත් සැමියා අද (22) ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි බිරිඳ ද සමග පැමිණ හලාවත පොලිසියට භාරවී තිබේ.

 

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 21 හැවිරිදි මෙම සැකකරු විසින් නිවසේ සිටි තම දියණියව පැහැරගෙන ගිය බවට ඇගේ මව්පියන් විසින් හලාවත පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත හලාවත මුලස්ථාන පොලිසියේ විමර්ශන කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

 

එම පිරිසට සැකකාර සැමියා හා පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව ගැන හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවීම නිසා සැකකරුගේ ඥාතියකු පොලිස් භාරයට ගෙන තිබූ බව පැවසෙන අතර, ඉන්පසු සැකකාර තරුණයා අදාළ කාන්තාව ද සමග පොලිසියට වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

 

සැකකරු විසින් මෙම කාන්තාව පැහැර ගැනීමෙන් පසු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත්, මෙම පැහැරගැනීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී සිටින සැකකරුගේ බාප්පා විසින් සැලසුම් කර ඇති බවත් පොලිසිය හමුවේ හෙළිව තිබේ.

 

එම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බවත් ඔහුට පාතාල කල්ලි සමග සම්බන්ධකම් පවතින බවත් අනාවරණය වී තිබේ.

 

මේ වනවිට පැහැර ගැනීමට ලක්වූ තරුණ කාන්තාව රෝහල්ගත කර ඇති අතර, ඇය බරපතල මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බවද වාර්තා වේ.

 

පැහැර ගැනීමේ සිද්ධියෙන් පසු ඇය දැඩි භීතියකට පත්වී සිටින බවත්, මෙය පැහැර ගැනීමක් නොවන බවට පවසන ලෙසට සැකකරුවන් ඇයට තර්ජනය කර ඇති බවත් පොලිසිය කියයි.

 

තමා පැහැරගත් බවට පැවසුවහොත් සිරගතව සිට පැමිණි පසු ඇයව සහ ඇයගේ මව්පියන්ව මරාදමන බවටද සැකකරුවන් තර්ජනය කොට ඇති බව ඇය පොලිසියට කියා
තිබේ.

 

මෙම පැහැර ගැනීමට සම්බන්ධ සැකකාර තරුණයාගේ පියා, බාප්පා ඇතුළු පස් දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
 

views

342 Views

Comments

arrow-up