රටපුරා කුඩු බෙදූ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ දේපළ තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

රටපුරා කුඩු බෙදූ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ දේපළ තහනම් කෙරේ

රටපුරා කුඩු බෙදූ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ දේපළ තහනම් කෙරේ

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර තිබේ.

 

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයකින් පසුව ය.

 

සැකකරු මේ වනවිට මත්ද්‍රව්‍ය චෝදනාවකට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටියි.

 

කොළඹ කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බව පැවසෙන පලනි ශීරාන් ක්ලෝරියන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් දේපොළ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව විමර්ශනයක් සිදුකර තිබුණි.

 

ඒ අනුව අදාළ පුද්ගලයා වත්තල, බලගල පාරේ ඉදිරිකර තිබූ දෙමහල් නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

 

එම දේපොළ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ඒවා බවත් ඒ අනුව රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර ඇති බවත් පැවසෙයි.

 

එමෙන්ම සැකකරුට අයත් බෝට්ටුවක් ද සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇති අතර එය ක්ලබ් වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන්ට පළායාම සඳහා භාවිත කිරීමට මිලදී ගත් එකක් යැයි සැකකරන බව විමර්ශකයන් සඳහන් කළේය.

 

ශීරන් ක්ලෝරියන් නැමැත්තා කුඩු සෙල්වි නැමැත්තියගේ පුත්‍රයා බව පොලීසිය පැවසීය.

views

137 Views

Comments

arrow-up