ලියාපදිංචි වාහනවල මිල බස්සන කූට තැතක් ගැන වාහන ආනයන වෙළෙඳපොළ නියෝජිතයන්ගෙන් අනාවරණයක්

රජය විසින් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අපේක්ෂිත පසුබිමක දැනට ලියාපදිංචි වාහනවල මිල ගණන් ව්‍යාජ ලෙස පහත හෙළීමේ උත්සාහයක් පවතින බව වාහන ආනයන වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.
මේ වනවිට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් වාහනවල ව්‍යාජ මිල ගණන් සංසරණය වෙමින් තිබෙන බවත් මෙහි ප්‍රධාන අරමුණ වනනේ පාවිච්චි කරන ලද වාහනවල වෙළෙඳපොළ අගය පහත හෙළීම බවත් එම ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳව මෙරට වාහන ආනයන සමාගම්වල ද අවධානය යොමුව ඇති අතර ප්‍රමුඛ මෝටර් රථ සමාගමක් වන ඒ. එම්. ඩබ්ලිව්. සමාගම පවසන්නේ ඉදිරියේ දී ආනයනය කරනු ලබන නව වාහන සඳහා අසත්‍ය මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පුවත් රැසක් මේ වනවිට සංස්කරණය වෙමින් පවතින බවයි. නව වාහනවල මිල ගණන් ගණනය කිරීම සඳහා වෙළෙඳපොළ මිලේ වෙනස්වීම් සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බවද එම සමාගම පවසයි.
මෙසේ ආනයනය කිරීමට අපේක්ෂිත නව වාහනවල මිල ගණන් සඳහා අසත්‍ය මිල ගණන් ප්‍රචාරය කරමින් දැනට ලියාපදිංචි වාහනවල මිල ගණන් පහත හෙළීමට උත්සාහ කරමින් සිටින බවද, ඒ නිසා ජනතාව එම තොරතුරු විශ්වාසදායක හෝ බලයලත් පාර්ශ්වයක් වෙතින් තහවුරු කර ගැනීම වැදගත් බවද මෝටර් රථ ආනයන නියෝජිතයෝ පවසති.
කෙසේ වෙතත් නව රජය තවමත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ තීරණයක් ගෙන නැත.
143 Views
Comments