“සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ” - ජනපති අනුර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

“සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ” - ජනපති අනුර

“සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ” - ජනපති අනුර

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22)  පැවැති  සාකච්ඡාවේදීය.

 

වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ  මිල සම්බන්ධව  මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

 

පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ  ප්‍රකාශ කර තිබේ.

 

ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද කියා සිටියේය.

 

අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

views

128 Views

Comments

arrow-up