හෝර්ටන්තැන්නේ ජාන සොරකමට වරදකරුවන් වූ රුසියානුවන් දෙදෙනාට කෝටි 11ක් දඩ

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේණික වූ ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා ඊයේ (15) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා සැකකරුවන් දෙදෙනාට රු. එකළොස් කෝටි හැටඅට ලක්ෂ දසදහසක දඩ මුදලක් ගෙවන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන දෙදෙනාටයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට නියෝගයක් ලබාදෙන ලෙසත්, ඊයේ දඩ මුදලෙන් ලක්ෂ පහළොවක් අධිකරණය වෙත ගෙවන බවත් කියා සිටියේය. එම ඉල්ලීමට වනජීවි නිලධාරීන්ගේ විරෝධයක් නොවූ නිසා දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ලබන මස 26 දා කැඳවීමට නියෝග කළේය. දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රඳවා ගැනීමට ද නියෝග කෙරිණි.
171 Views
Comments