කාර්මික තාක්ෂණ ආයතනයේ නව රසායනාගාරයක් විවෘත කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපිත කළ ඇසුරුම් පරීක්ෂණ රසායනාගාරය (packaging testing laboratory) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් තානාපති ඩෙන්ස් චායිබි (Denis Chaibi) මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විශේෂඥ ආචාර්ය Jairo A. Villamil-Diaz මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් යුතුව විවෘත කෙරිණි.
මෙම ඇසුරුම් පරීක්ෂණ රසායානාගාරය හරහා මෙරට නිෂ්පාදනය කෙරෙන කිරිපිටි, ජල බෝතල්, විවිධ ආහාර ද්‍රව්‍ය, සිමෙන්ති, කාඩ්බෝඩ් ඇතුළු විවිධ පරාසයේ ඇසුරුම් රැසක ප්‍රමිතිය පිළිබදව පරික්ෂාවට ලක් කළ හැකි අතර අපනයන නිෂ්පාදනයන් සිදුකිරීමේදී මෙම ඇසුරුම්කරණ පරීක්ෂාව ඉතා වැදගත් අවස්ථාවක් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට උදාකර දෙයි.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රථමයෙන්, මෙම ඇසුරුම් පරීක්ෂණ රසායනාගාරය මෙරටට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් යුරෝපා සංගමයටත්, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනයටත් සිය ස්තුතිය පළ කළේය. එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනය විසින් වර්තමානයේ සිදු කරන මෙහෙය පිළිබඳවද සිය ප්‍රශංසාව පළ කළ අමාත්‍යවරයා විවිධත්වයෙන් යුතු ඇසුරුම්කරණය මෙන්ම එහි ප්‍රමිතිය ජාත්‍යන්තරයට ගැලපෙන ලෙසින් ආරක්ෂා කරගැනීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. එමෙන්ම එහිදී අමාත්‍යවරයා මෙලෙස අභිනවයෙන් ස්ථාපිත කළ ඇසුරුම් පරීක්ෂණ රසායානාගාරයේ උපරිම ප්‍රයෝජනය මෙරට නිෂ්පාදන කර්මාන්තයන්ට අත්කර ගතයුතු බවත් සදහන් කළේය.
එමෙන්ම UNIDO හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විශේෂඥ ආචාර්ය Jairo A. Villamil-Diaz මහතා අදහස් දක්වමින් සදහන් කළේ යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ අපනයනය කිරීමේදී එහි ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඒවා වියයුතු බවත්, මෙම පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් යොදාගෙන යුරෝපා වෙළෙඳපොළට උසස් තත්වයේ ඇසුරුම් සහිතව භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබෙන බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම් සහයෝගිතාවයේ අන්තර්වාර ප්‍රධානී Beatrice BUSSI මහත්මිය, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය G. A. S. ප්‍රේමකුමාර මහතා ඇතුළු ආයතන නිළධාරීන් රැසක් එක්වූහ.
230 Views
Comments