ටෙලිකොම් ආයතනය සම්බන්ධ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ටෙලිකොම් ආයතනය සම්බන්ධ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

ටෙලිකොම් ආයතනය සම්බන්ධ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

අද (15) දින ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

 

 

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි  සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන විසින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉකුත් මාර්තු මස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බවයි.

 

 

 

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ අයවැය ප්‍රකාශය තුළින් ද මෙම කරුණ සඳහා අනුමැතිය ලැබී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

 

 

 

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණි.

 

 

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බවත් බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සන්දේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

 

 

මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාරයට අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවොත් විදේශ ආයෝජකයින් මෙරටට පැමිණීම මගහැර වෙනත් රටවල් කරා ඇදී යාමට හැකියාව තිබෙන බවයි.

 

 

පෙත්සම්වලින් මෙම ක්‍රියාවලිය හරහා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවන්ටත්, එහි ග්‍රාහකයින්ටත් අගතියක් සිදු වන බවට චෝදනා කර තිබුනත් එය ද පදනම් විරහිත බව ප්‍රකාශ කළේය.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාදාමය හරහා ලැබෙන වාසිය ටෙලිකොම් ආයතනයට පමණක් නොව එහි කොටස්කරුවන්ටත්, ග්‍රාහකයින්ටත් හිමිවන අතර මෙය සැමටම ජයග්‍රහණය ගෙන දෙන වැඩපිළිවෙලක් බවත් අවධාරණය කර සිටියේය.

 

 

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් පෙත්කසම්කරුවන්ගේ  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන හෙයින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

 

 

අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වේ.

 

 

views

243 Views

Comments

arrow-up