කාබනික පොහොර නිවසේදීම හදමු

දැනට ලෝකයේ වැඩිපුරම වස විස භාවිතා කරන රටක් බවට ලංකාව පත්වී තිබෙන බව ඔබ දන්නවාද? මෙයට බලපා ඇති මූලිකම හේතුවවී ඇත්තේ වසර විස්සකටත් අධික කාලයක් පුරාවට වාණිජ කෘෂිකර්මය සඳහා රසායනික පොහොර භාවිතයට හුරු වීමයි. මේ නිසා අපිට විවිධ රෝග වැළඳීමේ අවදානමත් වැඩි වෙලා තියෙනවා. ඉන් විදින අධික පීඩනය නිසාම ලෝකේ අනිත් රටවල් වගේම කාබනික ගොවිතැන කෙරෙහි අපේ අවධානය යොමුවී තිබෙනවා. කොහොමත් පර්චස් දහයක් පහළවක් තියෙන කෙනෙකුට වුණත් ගෙවත්තේ එළවළු ටිකක් පලතුරු ගහක් වවාගෙන පවුලේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව තියෙනවා. ඒවගේම වස විස නැති කාබනික ආහාරවලට වෙළඳපලේ තියෙන්නෙත් හොඳ ඉල්ලුමක්. එය හරියාකාරව නිසි ප්‍රමිතියකින් සිදුකරන කෙනෙකුට වෙළෙඳපළේ ඉඩකඩ ලබා ගැනීම එතරම් අසීරු කාර්යක් නොවේ. කාබනික වගාවන් සඳහා යොමු වීමට නම් අනිවාර්යයෙන්ම කාබනික පොහොර සකස් කිරීම ගැන දැනගෙන සිටිය යුතුමයි.
ඒ සඳහා මුළුතැන්ගෙයි ඉවතලන ශාකමය අපද්‍රව්‍ය යොදා ගන්නත් පුළුවන්. නාගරිකව ජීවත්වන අයට කොම්පෝස්ට් බඳුන් තුළ අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් මෙය නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම එය අපද්‍රව්‍ය කළමනාකරණයටත් සාර්ථක විසඳුමක්. ඒවගේම ගිනිසීරියා කියන්නේ ඉතාම හොඳ කාබනික පොහොරක්. ගෙවත්තේ උසින් පිහිටි තැන සුද්ද කරලා මතුපිට පස් හොඳින් තද වන ලෙස උදැල්ලෙන් තලන්න. ගෙවත්තේ කෙසෙල් කැන් කපා ඉවතලන ගස් කුඩා කැබලි වලට කපා කාබනික පොහොරවල අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නත් පුළුවන්.
මෙහිදී මුලින්ම පිදුරු වසුනක් යොදන්න. ඉන්පසු ගිනිසීරියා කොළ ගොම කුකුළු පොහොර ලිපේ අළු ශාකමය අපද්‍රව්‍ය ඒ මතට දාන්න. මේ විදියට තට්ටු කිහිපයක් මාරුවෙන් මාරුවට අඩි දෙකක් දෙකක් දෙකහමාරක් පමණ උසට යොදන්න. එලෙස තට්ටු ඇති කිරීමේ දී ඒ මත වතුර දමා හොදින් තෙමන්න. දැන් කළු පොලිතීන් එකක් අරගෙන පොහොර අමුද්‍රව්‍ය ගොඩ හොඳින් වසා නොතෙමෙන පරිදි සකස් කරගන්න.
දින 21 කින් පසු පොලිතීන් වැස්ම ඉවත් කර පොහොර ගොඩ පෙරළන්න. නැවත පොලිතීන් එකෙන් වසා දින දාහතරකට පසු නැවතත් පෙරලන්න. එවිට දිරාපත්වී නොවී තිබේ නම් තවත් දින දාහතරක් පෙර පරිදිම වසා තබන්න. වෙළෙඳපොළේ ඇතැම් විට කළු පාටට තියෙන්නේ පිලිස්සු දහයියා වියහැක. ඒ නිසා ඔබේ කාබනික වගාවන් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිවසේදීම සකස් කරගෙන පරිභෝජනය කරන්න උත්සාහ කරන්න. එමගින් ඔබේ ගෙවත්තේ ඵලදාව වැඩි කර ගුණදායි වස විස වලින් තොර ආහාර පරිභෝජනය කිරීමට හැකියාව ලැබේවි.
by Dilki Shamani
Photo source : Internet
715 Views
Comments