කල්පිටියේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක්

කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එලූ නල මාර්ගයක් හරහා ගෙන ඒම, සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම, සෑම වර්ගයකම එළවළු වගා කිරීම වැනි කල්පිටිය ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කරයි.
ලෝක ජල දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින ජනතාවට විසඳුම් ලබා දෙමින් මස්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් ස්ථාපිත කරනු ලැබූ නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ දී ඔහු මෙම ප්‍රකාශය කර තිබේ.
“මේ කල්පිටියට කලා ඔය සිට ජලය ගෙනඒම ක්ෂණික පපඩම්, ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ කළ නොහැකියි. මේක වසර දෙක තුනක පමණ දීර්ඝකාලීන ව්‍යාපෘතියක්. මේ මගින් අපට පුළුවන් 24 පැයේම ගිනි රස්නෙට කට්ට අව්වට පිච්චෙමින්, දූවිලි සුළඟට නාමින්, වැලි පොළවේ ජීවත් වෙන ජනතාවගේ සාපිපාසාව සංසිඳවන්න. අපේ විශ්වාසය තමයි, මේ ලෝකේ පිපාසයට දෙන වතුර පොද, මේ කටුක සංසාරේ ඉපදෙමින් නිවන් දක්නා ජාති දක්වා පිං හැදෙන කටයුත්තක් බව කියන එක. මේ පිං කටයුත්තෙන් අපි සපුරන්න යන්නේ, කල්පිටියේ ජල ගැටළුවට තාවකාලිකව විසඳුමක් නොවෙයි ස්ථිරසාර විසඳුමක්” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටී.
කල්පිටිය තනිකරම සංචාරක ප්‍රදේශයක් වන අතර, ලංකාවේ බොහෝ එළවළු වර්ග වගා කළ හැකි ප්‍රදේශයකි. ගල් අඟුරු, සුළං සහ සෝලා බලාගාර හරහා රටේ ජාතික විදුලි පද්ධතියට 66% ක විදුලි ධාරිතාවක් දැනටමත් ලබාදෙන ප්‍රදේශයක් වන කල්පිටිය ලංකාවේ ලුණු නිෂ්පාදනය 50% කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ සියළු කරුණු සලකා දළ ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ කල්පිටිය ප්‍රධාන පුත්තලම දිස්ත්‍රික්කයෙන් බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.
298 Views
Comments