දෙල්ගොඩ සංවර්ධන නිලධාරිනිගේ ඝාතකයා කොටුවූ හැටි - ඇඟ කිලිපොලා යන පාපොච්ඡාරණය මෙන්න

දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ තනිව නිවසේ සිටි සංවර්ධන නිලධාරිනියක් ඝාතනය කිරීමට සැකපිට එම නිවස ඉදිකිරීමට පැමිණි පෑස්සුම් ශිල්පියෙකු පසුගිය 26වනදා කුණ්ඩසාලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කුණ්ඩසාලේ නත්තරන්පොත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
තමා විසින් මෙම ඝාතනය සිදුකළ බව එම සැකකරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණයක් සිදු කර ඇත.
ඉකුත් 12වනදා රාත්‍රි කඳුබොඩ ප්‍රදේශයේ තම නිවසේ තනිව සිටි හතළිස් දෙහැවිරිදි තරුණියකගේ ශරීරයේ එකොළොස් පළකට පිහියෙන් ඇන ගෙල කපා සිය නිදියහන මත ඝාතනය කර තිබුණි.
මෙලෙස ඝාතනය කර තිබුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කළ ලංකා ගනේෂි පනාපිටිය (42) නැමැති තරුණියකි.
ඝාතනය වූ කාන්තාවගේ නිවසේ ඉදිකිරීම් සිදුකළ මීපේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු විසින් පෑස්සුම්කරුවන් අවශ්‍ය බවට පුවත්පතක දැමූ දැන්වීමකට අනුව කුණ්ඩසාලේ නත්තරන්පොත ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු මීපේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරු ළඟ පෑස්සුම්කරුවෙකු ලෙස මෑතකදී රැකියාවට පැමිණ ඇති අතර ඔහු විසින් කඳුබොඩ ප්‍රදේශයේ ඝාතනය වූ තරුණියගේ නිවසේ යකඩ වැටක් ඉදිකිරීම සඳහා මෙම සැකකරු යොදවා ඇති බව පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.
දින තුනක් එම නිවසේ යකඩ වැට ඉදිකිරීමේ නිරතවූ සැකකරු තෙවැනි දිනයේ උදෑසන නිවසේ තනිව සිටින තරුණියගේ රන් භාණ්ඩ හා මුදල් සොරාගැනීමේ අරමුණින් එම නිවසේ කොන්ක්‍රීට් කණුවක් දිගේ ඉහළට ගොස් උඩුමහලේ විවෘත කර තිබූ ජනේලයකින් ගෙතුළට රිංගා ඇති බව පොලිසිය කියයි.
එහිදී සැකකරු දුටු තරුණිය උදව් ඉල්ලා කෑගසා ඇති අතර ඇගේ කෑගැසීම හා දැඟලීම නැවැත්වීමට සැකකරු කීප විටක්ම උත්සාහ කර පසුව කොට්ටයක් ඇගේ මුවට තබා තද කර කාමරයේ මේසය මත තිබූ පිහියකින් ඇගේ ගෙල ප්‍රදේශයට ඇණ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.
පසුව සැකකරු ඇගේ ගෙලේ තිබූ කුඩා රන් මාලය සහ පාදයේ තිබූ පාසලඹද ගලවා ගෙන ඇගේ මුදල් පසුම්බියේ වූ රුපියල් තිස්දාහක මුදලක් හා ජංගම දුරකථනයද සොරාගෙන එම නිවසින් බැහැරව එදින රාත්‍රි කොළඹට පැමිණ පාන්දර බසයකින් කුණ්ඩසාලේ ප්‍රදේශයට පිටව ගොස් ඇති බව පොලිසිය කියයි.
නිවසේ කොන්ත්‍රාත්කරු හමුවී මෙම සැකකරු පිළිබඳව පොලිසිය තොරතුරු විමසා සිටියත් ඔහු යටතේ සේවය කළ අදාළ සැකකරු පිළිබඳව කිසිදු තොරතුරක් කොන්ත්‍රාත්කරු ළඟ තිබී නොමැති බව පවසන පොලිසිය සැකකරු මීට පෙර රැකියාව කළ ආයතන සේවකයෙක්ගෙන් ලද තොරතුරක් මත මහත් පරිශ්‍රමයක් දරා සැකකරු කොටුකරගත් බව පැවසේ.
සොරාගත් රන් මාලය සැකකරු විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සවර්ණාභරණහලකට උගස් කර රුපියල් 63000ක මුදලක් ලබාගෙන ඇති බවත් සොරාගත් ජංගම දුරකථනය සැකකරුගේ භාර්යාවට ලබාදී තිබූ බවත් පොලිසිය පවසයි.
රන් මාලය සහ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති අතර සොරබඩු ළඟ තබාගැනීමේ චෝදනාව මත සැකකරුගේ භාර්යාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් නිවසේ ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුගේ සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිසිය පවසයි.
අදාළ සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
421 Views
Comments