කාසල්රී ඉවුරේ හොරෙන් මැණික් ගරන්න ගොස් පොලිස් දැලේ

කාසල්රී ජලාශයේ ඉවුරේ විශාල වලවල් හාරා, මහා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු අද (23) දින අලුයම අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිසිය කියා සිටී.
නෝර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයේ ජලාශයක පිරිසක් අනවසරයෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත, හැටන් පොලිස් අධිකාරී එච්. එම්. එන්. දෙහිගම මහතාගේ උපදෙස් මත වැටලීමක් සිදු කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ජලය සපයන ප්‍රධාන ජලාශයන්ගෙන් එකක් වන කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමග මෙම සැකකරුවන් ක්‍රියාත්මක වී ඇති අතර, ඔවුන් ජලාශය ඉවුරේ ගැඹුරට වලවල් හාරා, ගොඩට ගන්නා ලද ඉල්ලම් පස් ජලාශයටම සෝදා මැණික් සොයා ඇති බව නෝර්වුඩ් පොලිසිය කියා සිටී.
ඔවුන් විසින් මැණික් ගැරීමට උපයෝගී කරගන්නා ලද උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර, නොර්වුඩ් ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති බවත්, සැකකරුවන්ට එරෙහිව හෙට (24) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිත බවත් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කොට සිටියේය.
323 Views
Comments