කාදිනල් හිමිපාණන්ගෙන් රජයට අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

කාදිනල් හිමිපාණන්ගෙන් රජයට අභියෝගයක්

කාදිනල් හිමිපාණන්ගෙන් රජයට අභියෝගයක්

වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් බැවින් ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය යුතු බව  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියා සිටී.

 

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ, බොරැල්ල, අගරදගුරුමැදුරේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව පැවසූ කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ එවිට රට දිය යුත්තේ කාටදැයි ජනතාවට තීරණය කළ හැකි බවයි.

 

ඇතැමුන් පිටුපස දොරෙන් පැමිණ ජනතාවගෙන් නොඅසා සියල්ල වෙනස් කරන බවත්, මෙරට කුමන හෝ සම්පතක් විදේශයකට දෙන්නේ නම් ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්, වත්මන් නායකයන් රට ඉතා දුක්බරිත තැනකට ගෙනැවිත් ඇති බවත්, ඔවුන් පාර්ලිමේන්තුවේ හිනාවුණාට ජනතාව සතුටින් සිටින බව කිව කිව නොහැකි බවත් අගරදගුරුතුමන් පවසයි.

 

පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය තමන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කතානායකවරයාගෙන් ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බව පැවසූ අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසුවේ කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය මෙන්ම ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් ය.

views

207 Views

Comments

arrow-up