බදුල්ලේ කැබ් රථ අනතුරට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩි පියවර

බදුල්ල ධර්මදූත මහා විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලය අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ ඛේදජනක අනතුර පිළිබඳව සිදු කෙරුණු තොරතුරු අනාවරණයකදී බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා කියා සිටියේ මෙවැනි රථ පෙළපාළියක් පැවැත්වීමට පොලිසිය කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත්, මෙම රථ පෙළපාළිය සංවිධාන කොට ඇත්තේ පාසලේ ද අනුදැනුමකින් තොරව එක් කණ්ඩායමක් විසින් බවට පෙනී යන බවත් ය.
මෙම පෙළපාළිය සංවිධාන කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවට අවධාරණය කොට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, අනතුරට පත් කැබ් රථය පැදවූ සිසුවා රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බැවින්, ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද, ඉදිරියේදී එම සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.
කැබ් රථය පැදවූ සිසුවා රියදුරු බලපත්‍රයක් හිමි අයෙකු බව ද කියා සිටි පොලිස් අධිකාරීවරයා, කැබ් රථය ලියාපදිංචි කිරීමේදී පැවති තත්ත්වයට වඩා වෙනස් කර ඇති එකක් බව පෙනී යන අතර, එය මෝටර් රථ පරීක්ෂවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන බවද වැඩි දුරටත් කියා සිටියේය.
221 Views
Comments