වකුගඩු ගලෙන් ගිනස් වාර්තා අලුත් කළ වෛද්‍ය විරුවන් ඇගයීමට ලක් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

වකුගඩු ගලෙන් ගිනස් වාර්තා අලුත් කළ වෛද්‍ය විරුවන් ඇගයීමට ලක් කෙරේ

වකුගඩු ගලෙන් ගිනස් වාර්තා අලුත් කළ වෛද්‍ය විරුවන් ඇගයීමට ලක් කෙරේ

වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් හට"ප්‍රශංසා පදක්කම" පිරිනැමීම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ  විසින් සිදු කෙරුණි.

 

 

රෝගියාගේ ජීවිතයට හානියක් නොවන අයුරින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් සිදුකළ සැත්කම මෙහිදී යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් විය.

 

 

යුද හමුදා මූලස්ථානය වෙත මෙම කණ්ඩායමට ආරාධනා කිරිමෙන් අනතුරුව මෙම ප්‍රධානය සිදු කෙරුණි.

 

 

වකුගඩු ආශ්‍රීත හටගත් සෙන්ටිමීටර 13.372 ක දිගකින් සහ ග්‍රෑම් 801 ක බරින් යුක්ත ගලක් (Calculus) ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය ඉකුත් බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූහ.

 

 

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකරනු ලැබීය. ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී.

 

 

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු  සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන් විසින් ශල්‍යකර්මයෙන් අනතුරුව ඉවත්කරනු ලැබු වකුගඩු ආශ්‍රිත ගල (Calculus) පිළිබඳව යුද හමුදාධිපතිවරයාව දැනුවත් කරන ලදී.

 

 

ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල (Calculus) වර්ෂ 2004 දී ඉන්දීයාවේදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගින් යුක්ත විය. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 දී පාකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

views

274 Views

Comments

arrow-up