ලෝක සාගර දිනය

ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සාගර දිනය සමරනු ලැබූ අතර, එය සාගරයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් වාර්ෂික උත්සවයකි. මෙවර එහි තේමාව වූයේ 'සාගර ලෝකය - රළ පහර වෙනස් වෙමින්' යන්නයි.
මෙම දිනයේ අරමුණ වන්නේ සාගරය අපගේ ජීවිත තුළ ඉටු කරන තීරණාත්මක කාර්යභාරය සහ එය ආරක්ෂා කර ගත හැකි ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ අප ආශ්වාස කරන ඔක්සිජන් වලින් 50% ක් පමණ සාගරයෙන් නිපදවන බවයි.
2030 වන විට ලොව පුරා මිලියන 40 ක පමණ ජනතාවක් සාගර ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මිනිසා විසින් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 30%ක් පමණ සාගරය අවශෝෂණය කර ගනිමින් ගෝලීය උණුසුම අවම කිරීමට උපකාරී වේ.
ඔක්සිජන් නිපදවීමේ කාර්යභාරය හේතුවෙන් සාගරය බොහෝ විට "පෘථිවි පෙණහලු" ලෙස හඳුන්වනු ලබන අතර එය ආහාර හා ඖෂධවල ප්‍රධාන මූලාශ්‍රයක් මෙන්ම ජෛවගෝලයේ ඉතා වැදගත් කොටසක් ලෙස ජගත් සංවිධානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ලෝක සාගර දිනය වෙනුවෙන් ජාතික උත්සවය මාතරදී පැවැත්විණි. මීට අමතරව, ප්ලාස්ටික් සහ පොලිතින් සාගරයට සහ පරිසරයට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තරුණ සත්ව විද්‍යාඥයින්ගේ සංගමය මාධ්‍ය හමුවක් පැවැත්වීය.
213 Views
Comments