ආගමික ගැටුම් වැඩියි. තවත් උගුලක්ද?

පසුගිය මාස කිහිපය තුළ උතුරු පළාතේ ආගමික කණ්ඩායම් වල ගැටුම් වර්ධනය වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. මෙයින් සිදුවිය හැකි අනාගත විනාශයන් වළක්වා ගත යුතු බව ඔහු පවසා සිටියේ ය.
ඒ මහතා දැක්වූ අදහස් පහතින්.
“ආගමික කණ්ඩායම් මුල්කර ගත් විවිධාකාරයේ ගැටලු යම් ප්‍රමාණයක් ගැටුම් බවටත් පත්වුණු බව දේශීය මෙන්ම විදේශීය ජනමාධ්‍යයත් වාර්තාකර තිබුණා. වවුනියාවේ වෙඩුක්කුනාරිමලෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන ස්ථානය පදනම් කරගෙන ගැටලුවක් මතුවුණා. පූර්ව ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් වගේම හින්දු ආගමික ස්ථානයක් හැටියටත් මේ ස්ථානය පිහිටා තිබෙනවා. එය පදනම් කරගෙන සිද්ධි ගණනාවක් සහ ගැටුමක් ඇති වුණා. ඒ වගේම කච්චතිවු දූපතේ ආගමික ප්‍රතිමා අලුතින් ස්ථාපනය කිරීමට උත්සාහ කිරීමෙන් හින්දු සහ බෞද්ධ අවුල් සහගත තත්වයක් ඇති වුණා. ඩෙල්ෆ්ට් දූපතේ තිබෙන බලකොටුව මුල්කරගෙනත් යම් ආගමික නැඹුරුවකට අදාළ ගැටලුවක් මතු වුණා. මුලතිව් කුරුන්දූර්මලෙයි ප්‍රදේශය තුළ ඇති වුණු තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සාකච්ඡා කළා. උසාවි නියෝග පවා තිබියදී දේශපාලනඥයන් එහිදී මැදිහත්වීම් සිදුකර තිබුණා. කන්කසන්තුරේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමත් සමඟ අවුරුදු කිහිපයකට කලින් ඇතිවුණු ගැටලුවකුත් නැවත වර්ධනය වී තිබෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ තිරුකේතීශ්වරම් කෝවිල සහ ක්‍රිස්තියානි සිද්ධස්ථාන පදනම් කර ගත් ගැටලුවක් වසර ගණනාවක් වර්ධනය වෙමින් තිබෙනවා. මුලතිව්, සෙම්බලෛයි තිරායට්ටි කෝවිල ආශ්‍රිතවත් එවැනිම ගැටලුවක් මතුවී තිබෙනවා.
උතුරු පළාතෙන් බැහැරව ත්‍රිකුණාමලය ආසන්නයේත් හින්දු සහ කිතුනු ජන කණ්ඩායම් අතර, ගැටලු මතුවී තිබෙනවා. සමස්තයක් ලෙස මේ සිදුවීම් දෙස බලද්දී පැහැදිලි වෙන්නේ මින් කිහිපයක් වසර දෙකක් හෝ ආසන්න කාලයක අතීතයට අයත් වුණත් අති බහුතරයක් මෑතක මාස කිහිපය තුළ ඇති වී වර්ධනය වෙමින් තිබෙන බවයි. එකට එක කිරීම් ලෙස තරමක් වේගයෙන් වර්ධනය වීමක් පවතිනවා. බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාමීය ආගමික කණ්ඩායම් හතරම කුමන ආකාරයක හෝ ප්‍රතිවිරෝධතාවන්ට පත්ව සිටිනවා. මේ ප්‍රදේශවල පෞරාණික ඉතිහාසයක් සහිත බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික වගේම ඉස්ලාමීය සිද්ධස්ථාන පවතිනවා. ගැටලු එකක් පමණක් හැරුණු විට අනික් සියලු ගැටලු පවතින්නේ නව සිද්ධස්ථාන ඉදිකිරීමට හෝ වෙනස් කිරීමට යාමට හෝ අලුතින් හඳුනාගැනීම මූලික කරගෙනයි. එහෙම ඇති වෙන ගැටලු මූලික ගැටුම් බවට පත්වුණු අවස්ථා තිබෙනවා.
ජාතිකත්වයන් අතර පවතින වෙනස්කම් ගැටලු සහ ගැටුම් බවට පත්වී යුද්ධයක් දක්වා වර්ධනය වී සිදුවුණු විනාශයන් අපි දැක්කා. දැන් මතුවෙමින් තිබෙන්නේ ජාතිකත්වය ස්වරූපයට වඩා වෙනස්ව ආගමික ගැටුම් බවට වර්ධනය වීමකුයි. කෙටි කාලයක් තුළ ඇති වන වර්ධනය දකිනවිට අපට බරපතළ සැකයක් මතුවෙනවා. මේ කරුණු ජනතාව ඉදිරියේ හෙළිකිරීම ජනතා විමුක්ති පෙරමුණේ අප සතු වගකීමක්. පොදුවේ අපේ රටේ ජාතිවාදී සහ ආගම්වාදී මතයන් ජනතාව තුළ තැන්පත්ව තිබෙනවා. බහුතර ජන කණ්ඩායමක් සමඟ සංස්කෘතිකමය වශයෙන් වෙනස් කුඩා ජන කණ්ඩායමක් සිටිනවා නම්, ඒ කුඩා කණ්ඩයමට යම් බලපෑම් පවතින බව අපි දකිනවා. සමහර තැන්වලදී ඒ කුඩා ජන කොටස්වල පීඩාවන් ඇති කරනවා.
මෑතදී සිදුවූ සිදුවීම් දෙස බැලූවිට අපට පෙනෙන්නේ එකම ආගමික කොටස්වල පූජකයන් අතර තිබෙන්නා වූ තරගකාරිත්වය විසින් මේ අයුරින් ගැටලු ඇති කර ඇති බවයි. ඒවා ගැටුම් බවට පත්කර පූජකයන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගන්නා බවකුත් අපි දකිනවා. ඒ වගේම උතුරු පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ අතර පවතින බල අරගලය තුළින් මේ ගැටුම් නිශ්චිත වශයෙන්ම ඇති කර, ඒ චෝදනාව වෙන කණ්ඩායමකට බැර කරන බවක් පැහැදිලි වී තිබෙනවා. හින්දු පුවත්පත වාර්තා කර තිබෙන අන්දමට ඉන්දියාවටත් සම්බන්ධ ආගමික අන්තවාදී සංවිධාන ලංකාව තුළ කාර්යාල ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවට සම්බන්ධ ඒ අන්තවාදී කණ්ඩායම්වල බලපෑම නිසාත් උතුරු පළාතේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පිරිස්වලට බලපෑම් කරන හින්දු අන්තවාදී කණ්ඩායම් පිළිබඳව සඳහන් වෙනවා. ආගමික, සංස්කෘතික සහ ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට පවතින පොදු හැඟීම විසිනුත් මේ ගැටලුව වර්ධනයක් වී තිබෙනවා. උදාහරණයක් හැටියට සංස්කෘතික වටිනාකමක් හඳුනාගෙන තිබුණත් ඒ ආයතන ඉතිහාසයේ සිදුකළ පක්ෂග්‍රාහී ක්‍රියා නිසා විද්‍යාත්මක කරුණු වුවත් පිළිනොගන්නා තත්වයක් පවතිනවා. ආරක්ෂක අංශ පවා පක්ෂග්‍රාහී කියන විශ්වාසයක් ජනතාව තුළ පවතිනවා. සමහර ප්‍රශ්නවලදී විද්‍යාත්මකව ඔප්පු කළ නමුත් ජනතාව පිළිනොගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ කෘත්‍රිමව පක්ෂග්‍රාහී කරුණු ඉදිරිපත් කිරීමයි.
උතුරු පළාතේ අති විශාල වශයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වයක් වගේම අති විශාල ආයතනික පද්ධතියක් තිබියදී මේ සිදුවීම් වර්ධනය වීම විශේෂත්වයක්. රාජපක්ෂ යුගයේදී සිංහල සහ මුස්ලිම් ජනතාව අතර, හිතාමතාම ගැටුම් ඇති කරන්න සහ වර්ධනය කරන්න රාජපක්ෂ හිතවාදී සමහර බුද්ධි අංශ හෝ ඒවායෙන් විශ්‍රාම ගිය කොටස් ඍජුව සම්බන්ධ වී තිබෙනවා. අති විශාල ආරක්ෂක අංශයත් උතුරු පළාතේ ක්‍රියාත්මක වෙද්දී මේ සිදුවීම් වර්ධනය වී තිබෙන්නේ ඇයි. ඒ වගේම ගැටුම් සම්බන්ධ සම්පූර්ණ නිශ්චිත අදහසක් ඉදිරිපත් නොවීමත් බරපතළ ගැටලුවක්. අද ගැටලු විදිහට අති බහුතරයක් තිබෙන මෙම තත්වයන් ගැටුම් වී විශාල පරිමාණයට පත්වුණොත් අපේ රට ඉතාමත් ඛේදනීය තත්වයකට පත්වෙනවා. රනිල් රාජපක්ෂ පාලක කල්ලියට රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න බැරිව අනාථ වී ඉන්නවා. ඒ නිසා දැන් ඔවුන්ට සමාජයේ ඉදිරියේ ත්‍රස්තවාදය, ජාතිවාදය, වැනි වූ කුමන හෝ වෙස්මුහුණක් දාගන්න අවශ්‍ය වී තිබෙනවා. රනිල් රාජපක්ෂ වැනි කල්ලිවලට තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන්න ජනතාවගේ පැත්තෙන් පෙළඹුමක් නැත්නම් ඔවුන් විසින් සමහර දේවල් නිර්මාණය කරනවා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතියක් හැටියට ආගම ඇදහීමට තිබෙන අයිතිය තහවුරු කර තිබෙනවා. සෑමතැනින්ම ඒ අයිතිය ආරක්ෂා විය යුතුයි. ව්‍යාපාරික, පුද්ගලික, ජාතිවාදී, දේශපාලනික, ඕනෑම ආකාරයකින් ආගමක් අදහන්න තිබෙන අයිතිය ගසාකමින් තිබෙන බව අපි ඉතා පැහැදිලිව දකිනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික, පුද්ගලික, ජාතිවාදී, දේශපාලනික වැනි අරමුණු වෙනුවෙන් ආගම ඇදහීමේ නිදහස ගසා කන්න ඉඩ නොදෙන ලෙසයි. මේ වගේ ගසාකෑම් නිසා වන්දි ගෙවන්න වෙන්නේ මුළු රටේම ජනතාවට. ලංකාව පුරාම විශේෂයෙන්ම උතුරු පළාතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල සිටි නිලධාරීන් තමන් අදහන ආගම, රාජකාරියේදී අදාළ කර නොගෙන ස්වාධීනව කටයුතු කළ යුතුයි. බුද්ධාගමට ජාති භේදයක් නැහැ. බදු ගහන කොට, සිංහල, දෙමළ, මුස්ලිම් හෝ ආගමික භේදයක් නැහැ. සංස්කෘතික, අධ්‍යාපනික, ආගමික ආයතනවලදී රාජ්‍ය ආයතන අපක්ෂපාතීව වැඩ කිරීම ඉතාම වැදගත්.
අපේ රටේ පෞරාණික උරුමයන් ආරක්ෂා කිරීමේදී අපක්ෂපාතිත්වය අතිශයින්ම වැදගත්. ප්‍රධාන ආගම් හතරටම අදාළ පිළිගත් ආගමික නායකයන් විශාල පිරිසක් සිටිනවා. අලුතින් ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් පොදු මාර්ගෝපදේශ පද්ධතියක් මේ ආගමික නායකත්වය විසින්, පරිපාලනය විසින් සහ පොදු ජනතාව විසින් සම්පාදනය කිරීම අත්‍යවශ්‍යයි. අද පවතින්නේ ජනතා විරෝධී පාලනයක් නිසා මේ වගේ මාර්ගෝපදේශන පද්ධතියක් ඇතිකර ගැනීම අවශ්‍යම වෙනවා. අලුතින් ආගමික ස්ථාන ඇති කිරීම මේ ගැටුම් බොහොමයකට හේතු වී තිබෙන නිසා, ඒ බව අවධාරණය කළ යුතුයි. ජනතාව මේ උගුල තේරුම් ගැනීමේදී පවතින විදෙස් මැදිහත්වීම් ගැන අත්‍යවශ්‍යයෙන්ම අවබෝධයෙන් ඉන්න ඕනෑ. මේ දවස්වල ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය ආගමික ගැටුම් නිසා ගිනි ගන්නවා. පසුගිය කාලයේ බුරුමයේ විශාල ආගමික ගැටුමක් ඇති වුණා. මේ නිසා ප්‍රධාන ආගම් විශාල අර්බුදයකට පත්වෙනවා. විදේශීය අන්තවාදී, ආගමික සංවිධාන ලංකාව තුළ කොහේ හෝ ක්‍රියාත්මක වෙනවා නම්, ආගම් අදහන මිනිසුන්ට හිරිහැරයක් නොවෙන ආකාරයට සංයමයකින් යුතුව ඒවා තුළ ක්‍රියාත්මක වන දේශපාලන අරමුණු පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත්. මේ තත්වයන් අවබෝධ කර දීම ඒ ඒ ආගමික පිළිගත් නායකයන්ගේ වගකීමකුත් වෙනවා. පොලීසිය, හමුදාව යොදවනවාට වඩා ඉතාම වැදගත් වෙන්නේ මේ ආගමික නායකයන් විසින් කරුණු පැහැදිලි කර දීමයි.
මෙවැනි තත්වයන් වර්ධනය වීම කරකියා ගන්න දෙයක් නැතිව අනාථ වී ඉන්න ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පාලකයන් එල්ලෙන්න හදන අන්තිම පිදුරු ගහ මේ ආගමික ගැටුම් වෙන්න පුළුවන්. ඒ සඳහාත්, දේශීය දේවල් මදිනම් විදේශීය දේවල් පවා යොදා ගන්න ඉඩ තිබෙනවා. මේ බව පෙන්වා දුන්නාමත් සමහර පිරිස් ඒ පේනවා දීමත් එක්ක පැටලෙන්න බලනවා. ආගමික අන්තවාදී ක්‍රියා නිසා පිළිගත් ආගම්වලට සිදුවුණු හානිය සුවිශාලයි. පාස්කු ප්‍රහාරයෙන් අපි ඒ බව දැක්කා. මේ රටට තවදුරටත් එවැනි ගැටුමක් අවශ්‍ය නැහැ. තමන්ගේ ආගම් සාමකාමීව අදහා ගනිමින් සාමකාමීව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟන්න සියලු ආගමික නායකයන් සහ උගතුන්, බුද්ධිමතුන් මැදිහත් වී කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.”
332 Views
Comments