පාඨලී චම්පිකට විදෙස්ගතවීමට අවසර

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් එම නියෝග කර තිබේ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, තරුණයෙකු බරපතළ අනතුරට ලක්කිරීම, සාක්ෂි සැඟවීම ඇතුළු අධි චෝදනා යටතේ පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකළ නඩුවකට ඇප නියමකළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහාධිකරණය නියම කර තිබුණි.
අද (12) පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට සිය දියණිය දැක බලාගැනීම සඳහා කැනඩාවට යාමට අවශ්‍යවී තිබෙන බැවින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමේ නියෝගයක් ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මැයි 13 වනදා සිට සැප්තැම්බර් 23 වනදා දක්වා කාලසීමාව තුළ පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.
287 Views
Comments