තරුණියක් දූෂණය කර හයවන මහලෙන් බිමට තල්ලුකර මරා දැමූ දොස්තරගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා පැමිණි රූමත් අවිවාහක තරුණියක් තම මැදිරිය තුළදී දූෂණය කිරීම හයවන මහලේ ජනේලයකින් එළියට තල්ලු කර ඝාතනය කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කර මීගමුව මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ මීගමුව මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයා ඉදිරිපත් කළ අභියාචනාව අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
මීගමුව මහාධිකරණය විසින් එම අධිචෝදනා දෙකට විත්තිකරුට නියමකළ මරණීය දණ්ඩනය, අවුරුදු 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් දසදහසක දඩය යුක්තිසහගත හා නීතියට අනුකූල සාධාරණ තීන්දුවක් බවට නිගමනය කළ අභියාචනාධිකරණය මහාධිකරණයේ එකී තීන්දුව තහවුරු කරමින් නියෝගයක් නිකුත් කළේය.
2007.11.12 වැනිදින එවකට මීගමුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කළ බාලගේ ඉන්දික සුදර්ශන නමැති විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව දිසානායකගේ චමිලා දිසානායක නමැති තරුණිය දූෂණය කිරීම සහ ඝාතනය කිරීම යන අධිචෝදනා දෙක යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ මීගමුව මහාධිකරණය 2014.09.03 වැනිදා පෙරකී දඬුවම නියම කොට තිබිණි.
එකී දඬුවම් අභියෝගයට ලක්කරමින් විත්තිකරු විසින් පවරා තිබූ පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හා පී. කුමාරත්නම් යන මහත්වරුන් හමුවේදී විභාගයට ගැනුණි.
ඝාතනයට ලක්වූ තරුණිය මරණය සිදුවීමට මොහොතකට පෙර විත්තිකරුගේ කාමරයේ සිටි බවට සනාථ කරන සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත් මරණය සිදුවන විට ඇය යට ඇඳුමින් සිටි බවට සහ ඇය දූෂණය වී ඇති බවට ඉදිරිපත්වූ සාක්ෂි මනාව අධ්‍යයනය කිරීමෙන් පසුව එකී දඬුවම් නියම කර ඇති බවත් විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු පී. කුමාරත්නම් මහතා නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.
648 Views
Comments