දර පැටවූ අත්ට්‍රැක්ටරයක් පෙරළී පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

දර පැටවූ අත්ට්‍රැක්ටරයක් පෙරළී පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි

දර පැටවූ අත්ට්‍රැක්ටරයක් පෙරළී පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි

දර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක් පලාගල නාන්වත්තේගම ප්‍රදේශයේ දී පෙරළීයෑමෙන් එම අත් ට්‍රැක්ටරයටම යටවීමෙන් එහි ගමන්ගත් දහහතර හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (03) සවස මරුමුවට පත්ව ඇත.

 

 

එම අනතුරින් නෑගම නාන්වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඒ. සෙනෙත් ඒෂාන් වීරසිංහ නමැති අයෙකු මියගොස් ඇත.

 

ඔහු නෑගම සිරිසුමන විදුහලේ නව වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු බව පොලිසිය කියයි. පලාගල අලියා මලගල මාර්ගයේ කිවුල්පිටිය හන්දිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබිණි.

 

 

දර ප්‍රවාහනය කරමින් තිබූ අත්ට්‍රැක්ටරය බෑවුමක් හා වංගුවක් සහිත ස්ථානයක දී රියැදුරුට එය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවත පැන පෙරළී හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

 

 

අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු සහ මියගිය ළමයා සමග තවත් අයෙකු එම අත්ට්‍රක්ටරයේ ගමන් කරමින් සිට ඇති බව ගල්කිරියාගම පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය කර ගෙන තිබේ.

 

 

ට්‍රැක්ටරය පෙරළී යෑමත් සමග එහි සිටි රියැදුරා හා සිසුවා ඇතුළු පිරිස ඉන් ඉවතට විසිවී වැටී ඇති අතර එම අවස්ථාවේ දර පැටවූ ට්‍රැක්ටර් ටේලරය බිම වැටුණු සිසුවාගේ ශරීරය මතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි.

 

අනතුරින් බරපතළ තත්වයේ පසුවූ සිසුවා එම අවස්ථාවේ දී පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර රෝහල් ගතකරනවිටත් එම සිසුවා මිය ගොස් සිට ඇත.

 

එම අනතුරට සම්බන්ධ අත්ට්‍රැක්ටරය හා එහි රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (04) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

148 Views

Comments

arrow-up