කෙළ ගසා රුවුවැයි කියා උරණව හටගත් ආරවුල මරණයෙන් කෙළවර වෙයි

අසල්වැසි නිවසක පුද්ගලයෙකු රවා බලා කෙළ ගැසීමේ සිදුවීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් අසල්වැසි නිවැසියාගේ තල්ලු කිරීම නිසා කාන්තාවක් මියගොස් ඇතැයි මොරටුව එගොඩඋයන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ධර්මබන්දු මාවත, එගොඩඋයන, මොරටුව ලිපිනයේ පදිංචිව සිටි රංජනී ඉන්ද්‍රාවති නමැති 71 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාවගේ නිවැසියන් සහ අසල්වැසි නිවසක් අතර හටගෙන තිබූ හිත් අමනාපකමක් අතරතුර අසල්වැසි නිවසේ පුද්ගලයෙකු කෙළ ගසා රවා බලා ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධව විමසීමට අදාළ මරණකාරිය අසල්වැසි නිවසට ගොස් තිබෙන අතර කෙළ ගැසීම ගැන සැකකරුගෙන් විමසීමේදී “කෙළ ගැසුවේ අපි නෙවෙයි ගහපු අයගෙන් අසා ගන්න” යැයි කියමින් මරණකාරිය තල්ලු කොට ඇති බව මුලික පරික්‍ෂණ වලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.
මරණකාරියගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොමැති අතර ඇය පානදුර මූලික රෝහලට ගෙනයන අතරදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ වන විට මෘතදේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අවුරුදු හතළිස් දෙකක් වියැති දෙදරු පියෙකු වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
738 Views
Comments