ඩෙල්ෆ් දූපතේ අති අමානුෂික ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළිවේ

යාපනය, ඩෙල්ෆ් දූපතේ සිදුවූ පස් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.
ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි අයෙකු වන එම සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මෙම බිහිසුණු ඝාතන සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ දිනයේම විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඊයේ රාත්‍රියේදීම ඒ ඝාතනයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු පුන්කුඩුතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ එම විමර්ශන වලදී හෙළි වූ තොරතුරු අනුවයි.
සභාරත්නම් රගූ නැමැති 51 හැවිරිදි මෙම සැකකරු සතුව තිබී, රන් මාල 3 ක්, වළලු ජෝඩු 2 ක්, තනි වළල්ලක්, මුදු 8 ක්, පෙන්ඩන්ට් 1 ක්, කරාඹු 2 ක්, ජංගම දුරකථන 2 ක් සහ සාරි සහිත ගමන්මල්ලක් සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ජර්මනියේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු බවට පැවසෙන අතර, ජර්මනියෙන් මොහු පිටුවහල් කොට ඇති බවට ද තහවුරු නොවූ තොරතුරු ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
එසේම මරණය සිදු වූ දිනට පෙර දින රාත්‍රියේ ඔහු එම නිවසේ නැවතී සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
284 Views
Comments