ලක්ෂ 500ක මත්කුඩු සමඟ අනුරාධපුරදී කොටුවුනු කත
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ලක්ෂ 500ක මත්කුඩු සමඟ අනුරාධපුරදී කොටුවුනු කත

ලක්ෂ 500ක මත්කුඩු සමඟ අනුරාධපුරදී කොටුවුනු කත

අනුරාධපුර පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් මත්කුඩු තොගය වන රුපියල් කෝටි පහකට වැඩි හෙරොයින් මත්කුඩු කිලෝ 2කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක ඊයේ (5) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර රංගල පොලිස් වසමේ එළුගොල්ල වත්ත ප්‍රදේශයේ ලයින් කාමරයක පදිංචිව සිටි 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික කාන්තාවකි.



පෙරේදා 4දා අනුරාධපුර විජයපුර, භාතිය මාවතේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 630ක් සමග අත්අඩංගුවට ගත්, අනුරාධපුර රෝහල ආසන්නයේ රෙදි වෙළෙඳාමේ නිරතව සිටි කොට්ටාව ප්‍රදේශයේ පදිංචි සැකකරු ලබාදුන් ප්‍රකාශයකට අනුව මෙම හෙරොයින් මත්කුඩු තොගය සමග සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.



සැකකරුගේ තොරතුරුවලට අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් මහනුවර රංගල ප්‍රදේශයට ගොස්, හෙරොයින් මත්කුඩු කිලෝ දෙකයි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් සමග මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවත්, ඇය පෙරේදා(04) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ නෑනා බවට අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කළේය.



එම සැකකාරියගේ 28 හැවිරිදි වියේ පසුවූ සැමියා ද  පසුගිය අප්‍රේල් මස මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ද පොලිසිය කියයි.

 

තම සැමියා ජීවත්ව සිටියදී රැගෙන විත්, ලයින් කාමරය තුළ සඟවා තිබූ මෙම හෙරොයින් මත්කුඩු තොගයෙන් කිලෝවක ප්‍රමාණයක් සැමියා මිය යෑමෙන් අනතුරුව මස්සිනා වන පළමු සැකකරු අනුරාධපුරයට රැගෙන ආ බවද සැකකාරිය සිදුකළ ප්‍රකාශවල සටහන් බව පොලිසිය කියයි.



අත්අඩංගුවට ගත් සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 

views

244 Views

Comments

arrow-up