බුදුන් තුට්ටු දෙකට දැමු ජෙරොම් ප්‍රනාන්දු දේවගැත්තා අවුරුදු 10 ක් හිරේ යයිද?

බුදු දහමට, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පැවරිය යුතු අතර ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා ආගමික වෛරය පතුරවන විට ඊට අනුබල දුන් ඔහුගේ අනුගාමිකයින් ද එම පනත යටතේ වරදකරුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ අද දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
බුදු දහමට වගේම හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇත්තටම අපහාස කලේ ඔය මොනම ආගමටවත් වඩා කිතුනු දහමටයි. කුරුසයක් එල්ලා ගෙන කිතුනු දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටිමින් අනිත් ආගම් වලට අපහාස කිරීමෙන් ඒ අපහාසය වඩාත්ම සිදු වන්නේ කිතුනු දහමටයි.
ඒ වගේම ඔහු දේශන පවත්වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඔහුගේ වචනවල අර්ථ නිරූපනයෙන් පෙනී යනවා ඉංහ්‍රීසි භාෂාව පිළිබද මෙලෝ හසරක අවබෝධයක්ද නොමැති බව. ඒ නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බෞද්ධයින් හින්දු ඉස්ලාම් කතෝලික බැතිමතුන් වගේම ආගමික සහජීවනය අගයන සමස්ත ජාතියට අපි ආයාචනා කරනවා.
ආගමික ගැටුම් ඇති කිරීමට උත්සහ දරණ අයට දඬුවම් කිරීමට 2007 දක්වා අපට තිබුණේ දණ්ඩ නීති සංග්‍රහය පමණයි. නමුත් අයිසිසිපිආර් පනත ලෙස හැඳින්වෙන 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත අනුව මෙය මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි ඉතාම බරපතල වරදක්.
මහාධිකරණ විනිසුරුවරයෙකු වුවත් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂි කරුණු මත පමණයි. ඒ වගේම මෙවැනි නඩුවක් උසාවියකට ඉදිරිපත් කළාම අනෙකුත් නඩු පසෙක තබා ප්‍රමුඛතා පදනමින් මේ නඩුව විභාග කළ යුතුයි කියා පනතේ තිබෙනවා.
පනතේ 3(1) වගන්තිය අනුව එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කෙරෙන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. අන්න ඒ බරපතල වරද තමයි ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකර ඇත්තේ. ඒ සඳහා වසර 10ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකියි. ආගමික සහජීවනය අගය කරන දේශපාලන පක්ෂයක් විධියට අපි මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කලා. ඒ නිසා නොපමාව ඔහුට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පවරන්න කියා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.
මැයි 21 පැවැත්වෙන ජෙරොම්ගේ රැස්වීම තහනම් කළ යුතුයි
මේ වගන්තිය අනුව ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. ජෙරොම්ගේ ඩෝම් එකේ සිටින පිරිසගේ ප්‍රතිචාරය බලන්න. අන් ආගම් වලට අපහාස කරන විට මහ හඬින් සිනාසෙනවා. නැගිටලා අත්පුඩි ගහනවා. ඒ කියන්නේ ජෙරොම්ගේ ආගමික වෛරය පතුරන්න මේ අය පොළොඹවනවා.
එහෙම නම් ජෙරොම් අනුගාමිකයින් ආගමික වෛරයට පොළොඹවනවා. ඒ වගේම අනුගාමිකයින් ජෙරොම්ව දිරිමත් කරමින් පොළොඹවනවා. එහෙම නම් මේ අනුගාමිකයින් ද අයිසිසිපිආර් පනත අනුව වරදක් කරලා තිබෙනවා. ඔය අතරේ ජොරොම් ප්‍රනාන්දු තමන්ගේ අනුගාමිකයින්ට ලබන 21 වන ඉරිදා දේව මෙහෙය කියන රැස්වීම පවත්වන බවටත් පවුල් පිටින් ඩෝම් එකට එන්න කියා සමාජ්‍ය මාධ්‍ය හරහා දැනුම් දීමක් කර තිබෙනවා.
මේ ආගමික වෛරය පතුරන ජෙරොම්ට තව තවත් රැස්වීම් පවත්වන්න අවස්ථාව දුන්නොත් රටම ගිනි ගොඩක් ලේ විලක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඉරිදාට ජෙරොම්ගේ රැස්වීමක් පැවැත්වෙනවා නම් ඊට එරෙහිව අපිට, මේ රටේ සාමය අගය කරණ ජනතාවට උද්ඝෝෂණ කරන්න සිදුවෙනවා. ඒ නිසා උසාවි නියෝගයක් ලබා ගෙන වහාම මේ රැස්වීම තහනම් කරන මෙන් අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.
238 Views
Comments