විදේශ රටවල සිට පැමිණෙන අයට ගුවන් තොටුපලේ සිට අඩු මිලට බස් රථ සේවාවක්

විදේශවල සිට පැමිණෙන මෙරට ජනතාවට අඩු මුදලක් ගෙවා තම නිවෙස් වෙත යාමට හා සංචාරකයන්ට අඩු මුදලක් ගෙවා දිවයින පුරා සංචාරය කිරීම සඳහා නව බස් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
විදේශ රටවල සිට පැමිණන මෙරට ජනතාවට ගුවන්තොටුපොළේ සිට නිවෙස් වෙත යාම සඳහා වාහනයක් ලබාගැනීමේදී අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත්, මීට අමතරව පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අධික මුදලකටවත් වාහනයක් සොයා ගැනීමට නොහැකි වන අවස්ථා ඇති බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ දක්වා බස් රථ සේවාවක් හා බැස්ටියන් මාවතේ සිට පිට පළාත් සඳහා සුබෝපභෝගී බස් රථ යෙදවීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කළ බවද හෙතෙම කීවේය.
මෙම සාකච්ඡාවලදී අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වූ බවත්, කන්ටේනර් පෙට්ටි යොදාගෙන නිවෙස් කිහිපයක් බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසල සකස් කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ සංචාරකයන්ට සුළු කාලයක් විවේක ගැනීමට ස්ථානයක් සකස් කිරීම පිළිබඳවත් යම් එකඟතාවකට පැමිණි බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මීට අදාළව සකස් කළ යෝජනාවලිය මේ මස 07වැනිදා ප්‍රවාහන අමාත්‍යවරයාට හා සංචාරක අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කරන බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපොළ ආසනයට බස් රථ රැගෙන යාමට අදාළ අවසර ලබාගැනීමත් සිදුවන නිසා ගුවන් මගීන් රැගෙන එන භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීමේදීත් ගැටලු ඇති නොවන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
287 Views
Comments