ජීවිතය වෙනුවෙන් මිනිසුන් කළමනාකරණය කිරීමේ කලාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ජීවිතය වෙනුවෙන් මිනිසුන් කළමනාකරණය කිරීමේ කලාව

ජීවිතය වෙනුවෙන් මිනිසුන් කළමනාකරණය කිරීමේ කලාව

 ජීවිතයේ අපට විවිධාකාර වූ මිනිසුන් හමු වෙනවා.

 

ඒ විවිධාකාර වූ මිනිසුන් සමග අපි විවිධාකාර විදිහට ගනු දෙනු කරනවා. ඒ වගේම තමයි අපට හමුවෙන විවිධ මිනිසුන් අපි සමග ගනුදෙනු කරන්නේත් ඔවුන්ටම සුවිශේෂ වූ වෙනස් ආකාරවලින්.

 

මිනිසුන් අපි සමග ගනුදෙනු කරන විදිය සහ ඔවුන් අපි ගැන දක්වන ආකල්පය වගේම, අපි ඔවුන් ගැන ඇතිකරගන්නා ආකල්පය අනුව අපි වටා සිටින මිනිසුන් කොටස් හතරකට බෙදන්න පුලුවනි.

 

 

බලන්න රූපය දිහා. ගොඩක් දේවල් පැහැදිළි වෙනවා නේද? 

 

1. අපි කැමති සහ අපිට කැමති අය. 

මේ අය තමයි අපේ ජීවිතයට සතුට ගෙනෙන්නේ. හැමදාමත් ජීවිතයේ ළඟින් තියාගන්න ඕනෙ මේ අයව තමයි. මේ වගේ අය හරිම අඩුයි වගේම මේ වගේ කෙනෙක් හඳුනා ගන්නත් හරිම අමාරුයි. ඉතින්, ඒ නිසා ඔයාලගේ ජීවිතයේ ඉන්න මේ වගේ අයව කවදාවත් නැති කර ගන්න නම් හිතන්නවත් එපා.

 

2. අපි කැමති, ඒත් අපිට අකමැති අය.

මේ වගේ අයව අත්හරින්න එපා කියලයි අපි නම් කියන්නෙ. කොහොමත් අපි කෙනෙකුට කැමති නම් එයා අපිට කොච්චර අකමැති වුණත් අපි එයාව අත්හරින්නෙ නැහැනෙ. හැබැයි ඒ වගේ අය එක්ක සීමාවක් ඇතිව ඇසුරු කරන්න පුරුදු වෙන්න. ඒයාලට ඔයාව වදයක් වෙන්න ඉඩ දෙන්න එපා. දවසක, ඔයා කවුද කියන එක ඒ අයට තේරුම් ගන්න පුලුවන් වුනොත්, අයත් එක්ක තියෙන ඔයාගෙ ගණුදෙනුව අනිවාර්යයෙන්ම පළවෙනි ගොඩට වැටේවි.

 

3. අපිට අකමැති සහ අපිත් අකමැති අය.

මේ වගේ අය නම් අනිවාර්යෙන්ම ලැයිස්තුවෙන් අයින් කරන්න වෙනව. අපි කෙනෙකුට අකමැති නම් සහ කෙනෙක් අපිටත් අකමැති නම් අපිට ඒ කෙනාව තේරුම් ගන්නවත්, එයාට අපිව තේරුම් ගන්නවත් කිසිම මාර්ගයක් නැහැ නෙ. අනපේක්ෂිත සිද්ධියකදී ඇරෙන්න. ඉතින්, ඒ වගේ දෛවයේ තීරණයකට ඉඩ දීල ඒ වගේ මිනිසුන්ගෙන ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම දේ.

 

4. අපි අකමැති වුණත් අපිට කැමැත්තෙන් ඉන්න අය.

අපි කතා කරපු හතර විදියක මිනිස්සුන්ගෙන් මේ පිරිස තමයි ඉතාම වැදගත් කියන එක අපේ නම් අදහස.

 

ඔබ කෙනෙකුට අකමැති වුණත්, ඒ කෙනා ගැන තැකීමක් නොකළා වුණත් කෙනෙක් ඔබට කැමැත්ත, ඇල්ම බැල්ම දක්වනවා නම්, අන්න ඒ අය ඔබ ගරු කළ යුතු මිනිසුන්.

 

ඔබ ඔවුන්ව නොසලකා හරිද්දිත් ඔවුන් ඔබට ඒ විදිහට සලකන්නේ ඔවුන් ඔබගෙන් දකින මොකක් හෝ විශේෂී ගුණයක් නිසා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් මොකක් හෝ විශේෂ හේතුවක් නිසා වෙන්න පුලුවන්.

 

කොහොම වුණත්, ඔබ කෙරේ ඇල්ම බැල්ම දක්වන, ඒ වගේම ඔබට කැමැත්තෙන් ඉන්න, ඔබ ගැන සොයා බලන කෙනෙක්ව කවදාකවත් නැති කර ගන්න එපා. මොකද, එහෙම අය සොයා ගන්න හරිම අමාරුයි.

ගිහින් එන්නම්. ලබන සතියේත් ජීවිතය ගැන සිතුවිල්ලක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන්.

 

ආයුබෝ ආදරණීය සති අන්තයක් වේවා!!!

මම, ආදරයෙන්
දේවක

views

378 Views

Comments

arrow-up