ලංකාවට කේරළ ගංජා එන හැටි - ඉන්දීය ජාතිකයිනුත් දැලේ

නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 වයඹ මුහුදේ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 13 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ මෙරට සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පවසන්නේ.
වෙරළ ආරක්‍ෂක නෞකා ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේ ඊයේ (13) දින පස්වරු කාලයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, පුත්තලම කුදිරමලේ තුඩුවට බටහිර දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කොට තිබෙනවා.
එම ඉන්දීය ඩව් යාත්‍රාව තුල තිබූ උර 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 434(තෙත බර සහිත) ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු (05) ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වන්නේ. එමෙන්ම, මෙම ඉන්දීය ඩව් යාත්‍රාවෙන් රැගෙන ආ කේරළ ගංජා තොගය මුහුදේදී හුවමාරු කර මෙරටට රැගෙන ඒම සඳහා එම මුහුදු ප්‍රදේශයට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් පස් දෙනෙකු ද ‘සුරක්‍ෂා’ නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට සැකකරුවන්, යාත්‍රා සහ කේරළ ගංජා තොගය මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර මූලික විමර්ශන වලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කරනවා.
268 Views
Comments