රෝහල් කිහිපයක බාල ඖෂධ බෝතල් 6000ක් කුණු ගොඩේ

ඖෂධ බෝතල් 6000 ක තොගයක් තත්වයෙන් අසමත් බවට තහවුරුවීමෙන් එම ඖෂධ බෝතල් ( පාවිච්චි කර ඉතිරිව තිබූ කොටස) 2021 වර්ෂයේදී භාවිතයෙන් ඉවත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට බෙදා හැර තිබූ එම ඖෂධ තොගය තත්වයෙන් අසමත් බවට හඳුනාගන්නා විට ඉන් සියයට 98ක ප්‍රමාණයක් රෝගීන්ට ලබාදී අවසන්ව තිබූ බවයි.
හෘද,අක්මා, වකුගඩු රෝග හා අධි රුධිර පීඩන වැනි රෝග තත්වයන් සඳහා භාවිතා කරන මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා රේගුවෙන් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 24 වැනිදා නිදහස් කිරීම සඳහා පෞද්ගලික සමාගමකට නිදහස් කිරීමේ ලිපිය නිකුත් කරනු ලැබ ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසිනැයිද එම වාර්තාව සඳහන් කරයි.
මේ සිරප් බෝතල් තොගය 2021 අප්‍රේල් 19 දින වෛද්‍ය සැපයීම් අංශයට ලැබීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට මෙසේ බෙදා හැර තිබූ බවත්,
මෙම ඖෂධ තොගය රට තුළට පැමිණියේ ඖෂධයේ තත්වය පිළිබඳ ලේඛන හෝ සාම්පල ඇගයීමක් හෝ නොකර නිදහස් කිරීමේ ලිපි ලබාදීම හේතුවෙන් බවත්, තත්වයෙන් අසමත් ඖෂධ රෝගීන්ට මෙලෙස ලබා දීමෙන් සිදුවන හානිය මැනිය නොහැක්කක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ජීවිතයක් බේරා ගැනීමට හෝ බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට හෝ ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂ අවස්ථාවලදී පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තිය ප්‍රකාරව ඖෂධ නිදහස් කිරීමේ ලිපි නිකුත් කළ හැකි නමුත් එවැනි ගණයට නොවැටෙන ලියාපදිංචි අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, ලියාපදිංචි සැපයුම්කරුවන් ලංසු ඉදිරිපත් නොකිරීම වැනි හේතු මත 2020 වර්ෂයේදී භාණ්ඩ නිදහස් කිරීමේ ලිපි 81ක් නිකුත් කර තිබූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
293 Views
Comments