නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතදී හසු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතදී හසු වෙයි

නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතදී හසු වෙයි

නීතිවිරෝධී අයුරින් එකලස් කර සකස් කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් සුඛෝපභෝගී රථයක් හලාවත මැරවල ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි. පොලිසිය පවසන්නේ, චැසි හා එන්ජින් අංක නීතිවිරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා ලද තොරතුරක් අනුව වැටලීම කළ බව යි. ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව පොලිසිය කියා සිටී. 

 

ඒ පිළිබඳව ජීප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිලදී ගත් බවය. පොලිසිය පවසන්නේ, ආදායම් බලපත්‍රය ලබාගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඒ පිළිබඳව ජීප් රථය විකුණූ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුව එය සකස්කර දෙන බවට පොරොන්දු වී ඔහු සියලුම ලිපි ලේඛන ගත් බවට අනාවරණය වී ඇති බවයි. 

 

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ,  එම පුද්ගලයාට ජීප් රථය විකිණූ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන ජාවාරම්කරුවකු බවත් ඔහු වංචනික ක්‍රියා රැසකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් ය.මේ වනවිට එම රථය හලාවත පොලිසිය භාරයට පත්කර ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදුකරයි.

views

252 Views

Comments

arrow-up