මෙරටින් ඉන්දියාවට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන පිරිස ඉහළට - බෝට්ටුවෙන් පනින්න ගිය තවත් අටක් කොටු වෙයි

මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇතැයි නාවික හමුදාව අවධාරණය කරනවා.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මගින් මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ ඊයේ (13) රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, එම වෙරළ තීරයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් පිරිසක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කොට තිබෙනවා.
එහිදී, එම වෙරළ තීරයේ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු , කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කොට තිබෙනවා.
ඒ අනුව නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස මොරවැව, වව්නියාව, යාපනය සහ පේදුරුතුඩුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලීසිය වෙත භරදීමට කටයුතු කොට ඇතැයි නාවික හමුදා පවසන්නේ.
එමෙන්ම ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
288 Views
Comments