පාසල් බිග් මැච් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

පාසල් බිග් මැච් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

පාසල් බිග් මැච් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බිග් මැච් තරග පැවැත්වීමේ දී අදාල පාසල් විසින් පොලිසිය සමග සාකච්ඡා කර යම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පොලිසිය ප්‍රකාශ කර සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසා සිටියේ, පාසල් අතර සුහදතාවය වර්ධනය වීමට පවත්වන බිග් මැච් තරග සංවිධානය කරන පිරිස් වෙත එහි වගකීම පැවැරෙන බවත් විනයක් පවත්වාගෙන යමින් එය සිදුකිරීමට අවදානය යොමු කළ යුතු බවත්ය.

 

පසුගිය ඉරිදා දින පයාගල ක්‍රීඩාංගණයක පැවැති එක්දින පාසල් ක්‍රිකට් තරගයක් අවසන් වීමත් සමග පාසල් සිසුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

අදාල සිදුවීම පොලිසිය මැදිහත් වී පාලනය කර තිබූ බවත් එම අවස්ථාවේදී යම් සිදුවීමක් වු බවට පොලිසියට වාර්තා වී නොමැති බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අද (02) උදෑසන දරුවෙකුගේ මවක් විසින් සිය දරුවා පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ප්‍රකාශ කළේය.

 

පැමිණිල්ල ලැබීමත් සමග මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අදාල සිදුවීමේ දී පයාගල පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා පහරකෑමට ලක්වු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍ය නොවන බව ද කියා සිටියේය.

 

මග්ගොන සරේ ක්‍රීඩාපිටියේ කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර 13 වන වතාවට පැවති "මැංගුස් සටන" අවසානයේ අදාල ගැටුම සිදුව තිබුණු අතර තරගය අවසානයේ කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමගම තරගය නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිරිසක් පිටියට පැන එහි සවිකර තිබූ ක්‍රිකට් පොලු ගලවා ගැනීමට උත්සහ කිරීමත් සමග ගැටුම හට ගෙන තිබේ.

 

එහිදී පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හිරූෂ නෙත්සර සිල්වා නමැති සිසුවාය. ක්‍රිකට් පිත්තකින් ඔහුගේ හිසට පහර දී ඇති බව අනාවරණය වී තිබේ.

 

පහරකෑමට ලක් වූ සිසුවා කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර හිසෙහි විශේෂ ශල්‍යකර්මයක් කිරීම නියමිත බැවින් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව වාර්තා විය.

views

273 Views

Comments

arrow-up