කාන්තාවන් තිදෙනෙක් යට ඇඳුම් අස්සේ පනස්දාහක කිරිපිටි පන්නලා - එක් අයෙක් අත්අඩංගුවට

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි සුපිරි වෙළඳසලකින් රුපියල් 50000කට ආසන්න වටිනාකමින් යුත් කිරිපිටි ටින් 18ක් යට ඇඳුම තුළ සඟවා සොරකම් කළ බව කියන කාන්තාවන් තිදෙනකුගේ කල්ලියේ එක් සැකකාර කාන්තාවක් දෙවන වරටත් එම වෙළඳසලට පසුගිය දින රාත්‍රියේ පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් 51 හැවිරිදි සැකකාර කාන්තාව පානදුර මහබෙල්ලන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව සම වයසේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ ඉකුත් මාසයේ 22වන දින දර්ගා නගරයේ මෙම වෙළෙඳසලට පැමිණ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් කිරිපිටි ටින් තොගය සම සමව සොරකම් කර ඔවුන් ඇඳ සිටි ඇඳුම්වලට යටින් රහසිගතව ඇඳ සිටි විශාල ප්‍රමාණයේ සාක්කු සහිත යට කලිසම්වල සගවා හොර රහසේ රැගෙන ගොස් ඇති බව එම වෙළෙඳසලේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙන බව විමර්ශනවලින් හඳුනාගෙන තිබේ.
සිදු කළ සොරකම සම්බන්ධයෙන් ආයතනය අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබියදී නැවතත් එම වෙළඳසලට පැමිණි සැකකාර කාන්තාව වෙළඳසල් සේවිකාවන් විසින් හඳුනාගෙන අලුත්ම පොලිසියට කළ දැනුම්දීමෙන් පසුව පැමිණි නිලධාරීන් කණ්ඩායමක් එම සැකකාරිය එම වෙළඳසල තුළදී දී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය සම්බන්ධයෙන් පොලිස් කාන්තා නිලධාරිනියන් ලවා පරික්ෂා කිරීමේදී හොර සාක්කු සහිත යට ඇඳුමක් එදිනද ඇඳ පානදුර ප්‍රදේශයේ සිට මෙම වෙළෙඳසලට පැමිණ තිබෙන බව පොලිසිය කියයි.
තවත් කාන්තාවන් දෙදෙනකු සමග ඉකුත් මස 22 දින සිදුකළ කිරිපිටි ටින් සොරා ගැනීමේ ආරක්ෂක කැමරා දර්ශනවල සිටින්නේ මෙම කාන්තාව බවත් සෙසු දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලීසිය පවසයි.
තවත් ප්‍රදේශවල මෙම කාන්තාවන් තිදෙනා සොරකම් සිදුකර තිබේදැයි යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
333 Views
Comments