චීනය බලා යළි පියාසැරියට සැරසෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම

චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන අප්‍රේල් පළමු සතියේ සිට එරටට වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව එම සමාගම නිවේදනය කරයි.
කොරෝනා වසංගතයට පෙර ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රමුඛ වෙළෙදපොළක් ලෙස චීනය සිටි අතර නැවත මෙලෙස ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ හැකියාවක් පවතින බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය නිවේදනය හරහා කියා සිටී.
ඒ අනුව, චීනයේ ගමනාන්ත ලෙස ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත මෙලෙස නැවත ගුවන් ගමන් ආරම්භ කෙරේ.
සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත් වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම පිළිවෙලින් ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම් කර ඇති බවද එම සමාගම සදහන් කරයි.
තවද කොළඹ සිට බීජිං දක්වා ගුවන් ගමන් ද ලබන අප්‍රේල් 03 වන දින ආරම්භ වන අතර සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල බීජිං බලා පිටත් වීමට නියමිතයි. කොළඹ බලා ආපසු එන ගුවන් ගමන් අදාළ දිනවලට පසු දින සිදු කරන බවද එම සමාගම කියා සිටී.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනට කොළඹ සහ ගුවැන්ෂු අතර සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන අතර දෙවන ගුවන් ගමන ලබන මාර්තු 04 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
215 Views
Comments