නීති ආධාර පතන්නන් සඳහා දුරකතන අංක තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

නීති ආධාර පතන්නන් සඳහා දුරකතන අංක තුනක්

නීති ආධාර පතන්නන් සඳහා දුරකතන අංක තුනක්

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින්  යම් පුද්ගලයෙකුට නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා විශේෂ දුරකථන අංක තුනක් වෙන් කර ඇති බව වාර්තා වේ.


 
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නීතිඥ කෞශල්‍යා හපුආරච්චි මහත්මිය සදහන් කළේ  ඒ අනුව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන දුරකථන අංකය වන
0112433618 හෝ නීති ආධාර කොමිෂන් සභාවේ ක්ෂණික දුරකථන අංක වන 0703655111, 0705655111 ඇමතීමෙන් හෝ ප්‍රාදේශිය නීති ආධාර මධ්‍යස්ථාන වෙත පැමිණ හෝ නීති ආධාර සේවය ලබා ගත හැකි බවයි.


 
ඇය මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍යංශයේ අද
(09) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය. 


 
2011 – 2021 දක්වා වසර දහයක කාලය තුළ පුද්ගලයින් අනූ නව ලක්ෂ දහසය දහස් හයසිය හතළිහක  සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සේවය ලබාගෙන ඇති බවත්, 2022 වර්ෂය තුළ පුද්ගලයින් 169215  ක සංඛ්‍යාවක් වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාවේ සේවය ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 49479 දෙනෙකු වෙනුවෙන්  නඩු කටයුතුවලදී පෙනී සිට ඇති බවත් ඇය කියා සිටී.


 
1978 අංක 27 දරණ පනත අනුව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්ථාපිත කර අති අතර මේ වන විටත්, දිවයින පුරා නීති ආධාර මධ්‍යස්ථාන 85ක් ක්‍රියාත්මක වන අතර ඕනෑම පුද්ගලයෙකුට තත්වය තරාතිරම නොබලා නීති උපදෙස් ලබාදීම, අඩු ආදායම්ලාභී පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබාදීම, මහජනතාවට අවශ්‍ය නීති දැනුම ලබාදීම හා නව නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජනතාවගේ අදහස් රජයට දැනුම්දීම යන මුලික කරුණු හතර යටතේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්ථාපිත කර තිබේ.


 
එමෙන්ම දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන් සම්බන්ධ නඩත්තු නඩු හා ගෘහස්ථ හිංසන නඩු කටයුතුවලදී ආදායම් වාර්තා කැඳවීමකින් තොරව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥ සහාය ලබා ගත හැකි බවත්, රුපියල් විසි පන් දහසකට වඩා අඩු ආදායමක් ඇති පුද්ගලයින් වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් ලබා දෙනු ලබන ආදායම් වාර්තාව අනුව සිදු කරනු ලබන බවත්, ජනගහනයට සාපේක්ෂව සැලකීමේදී වැඩිම නඩත්තු නඩු සංඛ්‍යාවක් නැගෙනහිර පළාත තුළින් වාර්තාවන බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.


 
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්ථාපිත කර මේ වන විට වසර
45ක් සම්පුර්ණ වන බැවින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික නීති ආධාර ක්‍රියාකාරී ප්‍රතිපත්තිය එළි දැක්වීමට කටයුතු කරන බවත් නීති අධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කරයි.


 
එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති) නීතිඥ හර්ෂනී බලහරුව, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති) නීතිඥ තුෂාරී කරුණාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂක (පාලන) රුක්මන් ගමගේ, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් පළ කළහ.

views

769 Views

Comments

arrow-up