බබාගේ අවුරුද්දේ උපන් දිනය දා ගමක් හඬවා ගිනිදැල් මැදින් පවුලක් මරු තුරුළට යැවූ ශෝකාන්තය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

බබාගේ අවුරුද්දේ උපන් දිනය දා ගමක් හඬවා ගිනිදැල් මැදින් පවුලක් මරු තුරුළට යැවූ ශෝකාන්තය

බබාගේ අවුරුද්දේ උපන් දිනය දා ගමක් හඬවා ගිනිදැල් මැදින් පවුලක් මරු තුරුළට යැවූ ශෝකාන්තය

රාගල, රාගලවත්ත උඩ කොටසේ පිහිටි නිවසක පෙරේදා(07) රාත්‍රී 10.30ට පමණ ඇති වූ ගින්නකින් එකම පවුලේ මව, පියා, දියණිය සහ එම දියණියගේ දරුවන් දෙදෙනා අවාසනාවන්ත ලෙස පිළිස්සී මියගොස් තිබේ.

 

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන අවස්ථාවේ අධික ලෙස බීමත්ව නිවසට පිටතින් සිටි මෙම පවුලේම සාමාජිකයෙකු වන 26 හැවිරිදි තරුණයෙකු දිවි ගලවාගෙන තිබේ.

 

සිදුවීමෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි රාමයියා තංගයියා(පියා), 54 හැවිරිදි සිවනුමුත්තු ලෙච්චමී (මව), 35 හැවිරිදි ජෙයකුමාර් නදියා (දියණිය), 11 හැවිරිදි තුවාගරන්(මුනුපුරා) සහ එක් හැවිරිදි එරොසන්(මිණිපිරිය) යන අය බව පොලිසිය පවසයි.

 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම අවස්ථාවේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වූ අවුරුද්දක් වයසැති දැරියගේ උපන්දිනය එදිනට යෙදී තිබී ඇත.

 

උපන් දින ප්‍රීතිය නිමිත්තෙන් නිවැසියන් කේක් කපා එය සමරා ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

 

පෙරේදා(08) රාත්‍රි 10.30ට පමණ ගින්න හටගෙන ඇති අතර එය නිවා දැමීමට අසල්වාසීන් දැඩි උත්සාහයක් ගෙන තිබේ. 

 

මේ සම්බන්ධව රාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණි.

 

වතු නිවාසයක් මෙලෙස ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. 

 

ගින්න හටගත් අවස්ථාවේ නිවැසියන්ට ඉන් පිටතට පැමිණීමට නොහැකි වූයේ මන්ද යන්න ගැටලූවක් බවද පවසන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

 

ගින්නට හසු වී පිළිස්සී මියගිය පුද්ගලයන් අසල්වාසීන් සමග ඉතාම සමීප සබඳතා පවත්වා ගෙන ගිය අය බවද හෙළි ව ඇත.

 

මෙම ගිනි ගැනීම සාහාසික ක්‍රියාවක් බවට කිසිදු සාක්‍ෂියක් නොමැති බවද පොලිසිය කියයි.

 

පිළිස්සී මියගිය මවගේ දියණියගේ සහ ඇගේ දරු දෙදෙනාගේ සිරුරු නිවසේ කාමරයකද පියාගේ සිරුර සාලය කොටසේ වැටී තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

හඳුනාගත නොහැකි ආකාරයට සිරුරු පිළිස්සී විනාශවී තිබිණි.

 

මෙම ගින්න හටගත් අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙක් මෙසේ කියා සිටියේය.

 

“පෙරේදා? 10.30 ට විතර වෙනකොට අපි නිදාගෙන හිටියේ.

රාගලවත්ත උඩ කොටසේ ගේක පුංචි දරුවෙක් විලාප තියලා කෑ ගහන සද්දෙ ඇහුණා. අපි සේරම ඒ පැත්තට දුවලා ගියා.

ඒ යනකොට එකම ගිනි ජාලාවක් එක්ක ගෙයක් ගිනි ගන්නවා. අපට කිට්ටුවෙන්නවත් බැරි තරමට ගින්න පැතිරිලා.

ගේ ඇතුළෙ ඉන්න අය බේරගන්න උත්සාහ කළත් ඒක කර ගන්න බැරි වුණා. ගින්න නිවන්න අපි ලොකු උත්සාහයක් ගත්තා.

රාගල පොලිසියෙනුත් ආවා. අපි හැමෝම එකතුවෙලා ගින්න නිවලා දැම්මා.

ඒත් ඒ ගෙදර හිටිය හැමදෙනාම ඒ වෙනකොට පිච්චිලා මියගිහින් හිටියා.''

 

රාගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

 

views

800 Views

Comments

arrow-up