දේපළ තණ්හාවට කෝටිපති පියා මැරූ අජාසත් පුතා රිමාන්ඩ්

පියා සතු දේපළ තනිව භුක්ති විඳීමේ අරමුණින් තම කෝටිපති ව්‍යාපාරික පියා ඝාතනය කළේ යැයි චෝදනා එල්ලවී ඇති අලි ගුලාම් හුසේන් නමැති සැකකාර පුත්‍රයා 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය ඊයේ(08) නියෝග කළාය.
අදාළ සැකකරු තම පියා ඝාතනය කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඔහු යටතේ සේවය කළ කළමනාකරුවෙකු ලවා සකස් කරගත් පලංචි ටයි ගැටය සහිත ටයි පටියක් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(08) අධිකරණය හමුවේ පැවසීය.
මෙම ඝාතනය සිදුකිරීමට පෙර එම කළමනාකරු ඇමැතූ සැකකරු “මම ණයවෙලා තියෙන බව තාත්තා දැනගත්තොත් මාර ප‍්‍රශ්නයක් තමයි වෙන්නේ.” යැයි ප්‍රකාශ කර ඇති බවත් සැකකරු තම පියාගේ කාර්යාලය තුළට ගිය පසු ඇසුන කෑගැසීම කුමක්දැයි බැලීමට යනවිට ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා බිම වැටී සිටිනු දක්නට ලැබුණු බවත් කළමනාකරු ප්‍රකාශයක් ලබාදී ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ පැවසීය.
එම අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ ගෙල සිරකර තිබූ ටයිපටිය සැකකරු ගලවමින් සිටිනු දක්නට ලැබුණු බවත් එය තමා ලවා පලංචි ගැටය සකස් කරගත් ටයිපටිය ලෙස හඳුනාගත් බවටද එම කළමනාකරු සාක්ෂි දෙමින් සිදුකල ප‍්‍රකාශය මගින් අනාවරණය කරගෙන ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
එම මරණය සිදුවී ඇත්තේ ගෙල සිරකිරීමෙන් බවත් එම අවස්ථාවේදී අස්ථි බිඳීමක් සිදුව ඇති බවටත් මියගිය අයගේ මෘතශරීරය නැවත ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා දන්වා ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් පැවසීය.
875 Views
Comments