පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සංකේත වර්ජනයක

කුරුණෑගල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පලකරමින් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වන බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළෙඹෙන බවත් ඔහු සඳහන් කළේය.
නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක බිත්තර තොග සඟවාගෙන ඇති බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහර දීමක් සිදුව තිබුණු අතර අනතුරුව එම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයිගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ කුකුළු ගොවිපල වෙත අනාරක්ෂිත ලෙස ඇතුළුවීමට පාරිභෝගික නිලධාරීන්ට හැකියාවක් නොමැති බවය.
කෙසේ වෙතත් සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ ඕනෑම වෙළෙඳ පරිශ්‍රයකට ඇතුළුවීම සඳහා නෛතික බලයක් තමන්ට පවතින බව ය.
285 Views
Comments