ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 05 කට රැකියා අහිමි වී ඇති බවට අනාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 05 කට රැකියා අහිමි වී ඇති බවට අනාවරණයක්

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 05 කට රැකියා  අහිමි වී ඇති බවට අනාවරණයක්

ලෝක බැංකුව පවසන්නේ, 2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයින් ලක්ෂ 5 කට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇති අතර ඉන් වැඩි දෙනෙකු කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් බවයි.

 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් විසින් මේ බව පෙන්වා දී තිබේ. 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ආසන්න වශයෙන් සියයට 13 සිට සියයට 25 දක්වා වැඩි වී ඇති බව එම වාර්තාවට අනුව සඳහන් වේ.

 

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ,  2021 සහ 2022 අතර කාල රාමුව තුළ නාගරික දරිද්‍රතාවය ද සියයට 5 සිට සියයට 15 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි. වර්තමානයේ දුප්පතුන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ගේ ජීවන වියදම සියයට 65 කින් ඉහළ ගොස් ඇති අතර දිළිඳු නොවන පුද්ගලයින් සඳහා එම වැඩිවීම සියයට 57 ක් වී තිබේ.

 

ලෝක බැංකුව විසින් පෙන්වා දෙන්නේ,  ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක මොහොතක පසුවන බවත් වසර ගණනාවක වැරදි ආර්ථික කළමණාකරණය, දුර්වල පාලනය, දුර්වල ප්‍රතිපත්ති තේරීම්, කොවිඩ් වසංගතය සහ රුසියානු යුක්‍රේන ගැටුම් වැනි බාහිර කම්පනවල බලපෑම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවයි. පවතින ආහාර අනාරක්ෂිතභාවය නිසා වර්තමානයේ ළමා මන්දපෝෂණය වැඩිවී ඇති අතර 2021 වසරේ සියයට 7.4 ක් වූ ළමා මන්දපෝෂණය 2022 වසරේදී සියයට 9.2 දක්වා වැඩි වී ඇති බව සඳහන් වේ.

 

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවට නව සංවර්ධන ආකෘතියක් අවශ්‍ය බවට පවතින අර්බුදය  තුළින් මනාව පෙන්නුම් කරන බැවින් ආර්ථිකයේ නිවැරදි සමතුලිතතාවයක් ඇතිකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට උපකාර කළයුතු බවයි.

views

234 Views

Comments

arrow-up